4. 7. 1.
සංයෝජන සූත්‍රය
1745. සැවැත්නුවර:
මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සංයෝජනප්‍රහාණය පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු සංයෝජනප්‍රහාණය පිණිස පවතිත් යි.
4. 7. 2.
අනුසය සූත්‍රය
1746. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අනුසය නැසීම පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු අනුසය නැසීම පිණිස පවතිත් යි.
4. 7. 3.
අද්ධාන සූත්‍රය
1747. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අදන්මග පිරිසිඳ දැනුම පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු අදන්මග පිරිසිඳ දැනුම පිණිස පවතිත් යි.
4. 7. 4.
ආසවක්ඛය සූත්‍රය
1748. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු ආස්‍රවක්‍ෂයය පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු ආස්‍රවක්‍ෂය පිණිස පවතිත් යි.
4. 7. 5.
ඵල සූත්‍රය
1749. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් එල දෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු යි. දිටුදැමියෙහි රහත්බව හෝ උපාදානශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
4. 7. 6.
දුතියඵල සූත්‍රය
1750. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති වියයුතු. කවර සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත්බව නො ලබා නම් එකල මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නො ලබා නම් ඉදින් මරණ සමයෙහි රහත් බව නො ලබා නම් එකල පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපභච්ච පරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිටා යනසුලු උද්ධංසෝතයෙක් වෙයි. මහණෙනි, මේ පසිඳුරන්වැඩූ බැවින් බහුල කළ බැවින් මේ සත් පල සත් අනුසස් කැමති වියයුතු යි.
4. 7. 7.
රුක්ඛ සූත්‍රය
1751. මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම් කිසි රුක්හු වෙද්ද, දඹරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම අවබෝධය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙද්ද, පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය, බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම්කිසි රුක්හු වෙත් නම් දඹරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම්කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ යි.