4. 6. 8.
සූකරඛත සූත්රය
1742. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක. සාරිපුත්ත, රහත් මහණ කුමන කරුණක් දකිමින් තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී දැ යි වහන්ස, අනුත්තර වූ අර්හත්වය දකිමින් රහත් මහණ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී යි.
සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, අනුත්තර වූ රහත් බව දකිමින් රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී. සාරිපුත්ත, යමක් දකිමින් රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් ඒ අනුත්තර වූ රහත් බව කවරේ දැ යි වහන්ස, මෙහි රහත් මහණ සන්හිඳීමට යනසුලු කොට සම්බෝධියට යනසුලු කොට සද්ධින්ද්රිය වඩයි ... විරියින්ද්රිය ... සතින්ද්රිය ... සමාධින්ද්රිය වඩයි.
සන්හිඳීමට යනසුලු කොට පඤ්ඤින්ද්රිය වඩයි. වහන්ස, රහත් මහණ තෙමේ යමක් දකිමින් තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් මේ (ඒ) අනුත්තර වූ රහත් බවයි.
සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, යමක් දකිමින් රහත් මහණ තෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් මේ ඒ අනුත්තර වූ රහත්බව යි. සාරිපුත්ත, රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටත්බවක් පවත්වන්නේ පවතී නම් ඒ ඉතා යටත්බව කවරේ දැ යි. වහන්ස, මෙහි රහත් මහණ තෙමේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. ධර්මය කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. ශික්ෂායෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. සමාධියෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. වහන්ස, රහත් මහණ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටත් බවක් පවත්වමින් පවතී නම් මේ ඒ ඉතා යටහත් බව යි.
සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටහත් බවක් පවත්වමින් පවතී නම් මේ ඒ ඉතා යටහත් බව යි.
4. 6. 9.
උප්පාද සූත්රය
1743. සැවැත්නුවර:
මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති. කවර පසිඳුරෝ ද යත්: සද්ධින්ද්රිය විරියින්ද්රිය සතින්ද්රිය සමාධින්ද්රිය පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිත් යි.
4. 6. 10.
දුතිය උප්පාද සූත්රය
1744. සැවැත්නුවර:
මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තන්හි නූපන්නාහු නූපදිති. කවර පසිඳුරෝද යත්: සද්ධින්ද්රිය විරියින්ද්රිය සතින්ද්රිය සමාධින්ද්රිය පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තන්හි නූපන්නාහු නූපදිති යි.
සවැනි සූකරඛත වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
සාලා මල්ලක සේඛ පද සාර පතිට්ඨිත බ්රහ්ම සූකරඛත යි අටෙක. අනෙක් උප්පාද සූත්ර දෙකෙකැ යි දස සූත්රයෙකි යි.