4. 5. 8.
චතුත්‍ථ පුබ්බාරාම සූත්‍රය
1732. මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසා දැ? යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉන්‍ද්‍රිය පසක් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසයි. කවර පසක් ද යත්: සද්ධින්‍ද්‍රියය විරියින්‍ද්‍රියය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත්බව පවසා යි.
4. 5. 9.
පිණ්ඩෝල සූත්‍රය
1733. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසන ලද්දේ වෙයි. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ ය. වහන්ස, කිනම් කරුණක් දක්නා ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ දැ? යි.
මහණෙනි, ඉන්‍ද්‍රිය තුනක් වැඩූ බැවින් බහුල කළ බැවින් පිණ්ඩෝල භාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ ය. කවර තුනක් ද යත්: සතින්‍ද්‍රියය සමාධින්‍ද්‍රියය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය තුන වැඩූ බැවින් බහුල කළ බැවින් පිණ්ඩෝලභාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසන ලද්දේ ය. මහණෙනි, මේ තුන්ඉඳුරෝ කුමක් කෙළවර කොට ඇත්තෝ ද යත්: ක්‍ෂය කිරීම කෙළවර කොට ඇත්තෝ ය. කුමක් ක්‍ෂය කිරීම කෙළවර කොට ඇත්තෝ ද යත්: ජාතිජරාමරණ යි. මහණෙනි, ජාතිජරාමරණ ක්‍ෂය අන්තය යි දක්නා වූ පිණ්ඩෝල භාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ යි.
4. 5. 10.
ආපණ සූත්‍රය
1734. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟුදනව්වෙහි අඟුදනවුවැස්සන්ගේ ආපණ නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක. සාරිපුත්ත, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැත්තේ වෙසෙසින් පහන් වූයේ වේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ සැක කරන්නේ හෝ විචිකිච්ඡා කරන්නේ හෝ වේ දැ? යි.
වහන්ස, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැත්තේ වෙසෙසින් පහන් වූයේ වේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ සැක නො කරන්නේ ය. විචිකිච්ඡාත් නො කරන්නේ ය. වහන්ස, “අකුසල්දහම් ප්‍රහාණ පිණිස කුසල්දහම් ඉපදවීම පිණිස ඇරඹූ වැර ඇත්තේ කුසල්දහම්හි නොපසුබස්නා වැර ඇත්තේ දැඩිපැරකුම් ඇත්තේ නොබහාතැබූ ධුර ඇත්තේ වෙසෙන්නේ ය. යන යමෙක් ඇද් ද, සැදැහැති අරීසව්හු විසින් එය කැමති වියයුතු. වහන්ස, ඔහුට යම් වීර්‍ය්‍යයෙක් වේ නම් එය ඔහුගේ විරියින්‍ද්‍රිය යි. වහන්ස, “සිහි ඇත්තේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහිකරනුයේ වන්නේ ය, යන යමෙක් ඇද්ද, ඇරඹු වැර ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමති විය යුතු. වහන්ස, ඔහුට යම් සිහියෙක් වේ නම් එය ඔහුගේ සතින්‍ද්‍රිය යි. වහන්ස, නිවන අරමුණු කොට සමාධිය ලබන්නේ ය, සිතේ එකඟකම ලබන්නේය යන යමෙක් ඇද්ද, ඇරඹු වෙර ඇති එළඹසිටි සිහි ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමැති වියයුතු. වහන්ස, ඔහුට යම් සමාධියෙක් වේ නම් ඵය ඔහුගේ සමාධින්‍ද්‍රිය යි.