4. 5. 10.
ආපණ සූත්‍රය
1734. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟුදනව්වෙහි අඟුදනවුවැස්සන්ගේ ආපණ නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක. සාරිපුත්ත, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැත්තේ වෙසෙසින් පහන් වූයේ වේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ සැක කරන්නේ හෝ විචිකිච්ඡා කරන්නේ හෝ වේ දැ? යි.
වහන්ස, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැත්තේ වෙසෙසින් පහන් වූයේ වේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ සැක නො කරන්නේ ය. විචිකිච්ඡාත් නො කරන්නේ ය. වහන්ස, “අකුසල්දහම් ප්‍රහාණ පිණිස කුසල්දහම් ඉපදවීම පිණිස ඇරඹූ වැර ඇත්තේ කුසල්දහම්හි නොපසුබස්නා වැර ඇත්තේ දැඩිපැරකුම් ඇත්තේ නොබහාතැබූ ධුර ඇත්තේ වෙසෙන්නේ ය. යන යමෙක් ඇද් ද, සැදැහැති අරීසව්හු විසින් එය කැමති වියයුතු. වහන්ස, ඔහුට යම් වීර්‍ය්‍යයෙක් වේ නම් එය ඔහුගේ විරියින්‍ද්‍රිය යි. වහන්ස, “සිහි ඇත්තේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහිකරනුයේ වන්නේ ය, යන යමෙක් ඇද්ද, ඇරඹු වැර ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමති විය යුතු. වහන්ස, ඔහුට යම් සිහියෙක් වේ නම් එය ඔහුගේ සතින්‍ද්‍රිය යි. වහන්ස, නිවන අරමුණු කොට සමාධිය ලබන්නේ ය, සිතේ එකඟකම ලබන්නේය යන යමෙක් ඇද්ද, ඇරඹු වෙර ඇති එළඹසිටි සිහි ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමැති වියයුතු. වහන්ස, ඔහුට යම් සමාධියෙක් වේ නම් ඵය ඔහුගේ සමාධින්‍ද්‍රිය යි.
වහන්ස, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්‍වයන්ගේ සසර නොදන්නා ලද අග්මුල් ඇත්තේ ය. පෙරපසු කෙළවර නො පෙනේ. අවිද්‍යාසඞ්ඛ්‍යාත තමස්කායයාගේ යම් මේ නිරවශේෂ විරාගනිරොධයෙක් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ බැහැර ලීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් මේ නිවන්පදය ශාන්ත ය, මෙ නිවන්පදය ප්‍රණීත ය යි මෙසේ දන්නේ ය යන යමෙක් වේ ද, ඇරඹූ වැර ඇති එළඹසිටි සිහි ඇති එකඟ වූ සිත් ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමති වියයුතු. වහන්ස, ඔහුට යම් ප්‍රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රිය යි. වහන්ස, ඒ මේ අරීසවු මෙසේ ප්‍රධන්වීර්‍ය්‍ය කොට කොට මෙසේ සිහිකොට කොට මෙසේ සමාදන් ව සමාදන් ව මෙසේ දැන දැන “පෙර මා විසින් යම් දහම් කෙනෙක් අසන ලද්දෝ වූහු නම් මොහු ඒ දහම්හු ම ය. මම දැන් ඔවුන් නාමකයින් ද පැහැස වෙසෙමි. නුවණින් ද පිළිවිද දක්මි” යි මෙසේ වෙසෙසින් හදහයි. වහන්ස, ඔහුට යම් සැදැහැයෙක් වේනම් එය ඔහුගේ සද්ධින්‍ද්‍රිය යි.
සාරිපුත්ත, මැනවි, මැනවි. සාරිපුත්ත, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැතියේ වෙසෙසින් පහන් වූයේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගත සස්නෙහි හෝ සැක නො කරන්නේ ය. විචිකිච්ඡාත් නො කරන්නේ ය. සාරිපුත්ත, අකුසල්දහම් ප්‍රහාණ පිණිස කුසල්දහම් ඉපදවීම පිණිස ඇරඹු වැර ඇතියේ කුසල්දහම්හි නො පසුබස්නා වැර ඇතියේ දැඩි පැරකුම් ඇතියේ නො බහා තැබූ ධුර ඇතියේ වෙසෙන්නේ ය යන යමෙක් වේ ද, සැදැහැති අරීසවුහු විසින් මෙය කැමති විය යුතු. සාරිපුත්ත, ඔහුට යම් වීර්‍ය්‍යයෙක් වේ නම් එය ඔහුගේ විරියින්‍ද්‍රිය යි. සාරිපුත්ත ... ඇරඹූ වැර ඇති සැදැහැති අරීසවුහු විසින් මෙය කැමති වියයුතු, සාරිපුත්ත, ඔහුට ප්‍රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රිය යි. සාරිපුත්ත, ඒ මේ අරීසවු මෙසේ ප්‍රධන්වීර්‍ය්‍ය කොට කොට මෙසේ සිහි කොට කොට මෙසේ සමාදන් ව සමාදන් ව මෙසේ දැන දැන “පෙර මවිසින් යම් දහම් කෙනෙක් අසන ලද්දෝ වූහු නම් මොහු ඒ දහම්හු ම ය; මම දැන් ඔවුන් නාමකයිනුදු පැහැස වෙසෙමි. නුවණිනුදු පිළිවිද දක්මි” යි මෙසේ වෙසෙසින් හදහ යි. සාරිපුත්ත, ඔහුට යම් සැදැහැයෙක් වේ නම් එය ඔහුගේ සද්ධින්‍ද්‍රිය යි.
පස්වැනි ජරාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ජරා, උණ්ණාභබ්‍රාහ්මණ, සාකේත, පුබ්බකොට්ඨක යි සිවු සුතුරෙක් ද පුබ්බාරාම නමින් සිවු සුතුරෙක් ද, පිණ්ඩෝල ආපණ යි දෙසුතුරෙක් දැ යි දසසුතුරෙකි යි.