4. 5. 1.
ජරා සූත්රය
1725. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවත සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් වෙහෙර පසුපස සෙවනෙහි පිට තවමින් වැඩහුන් සේක් වෙති. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ භාග්යවතුන් වහන්සේගේ අවයව අතින් පිරිමදිමින් භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ඇසිරියෙකි, වහන්ස, පුදුමයෙකි, වහන්ස, භාග්යවතුන් වහන්සේගේ සිවිපැහැය පෙරමෙන් දැන් නො ද පිරිසිදු වේ. නො ද හාත්පසින් බබළන්නේ වේ. සියලු අවයවයෝ ලිහිල්හ. හටගත් රැලි ඇතියහ. කය ද ඉදිරියට නැඹුරු වූයේ ය. ඉඳුරන්ගේත් එනම්: චක්ඛුන්ද්රියයේත් සෝතින්ද්රියයේත් ඝානින්ද්රියයේත් ජිව්හින්ද්රියයේත් කායින්ද්රියයේත් වෙනස් බවෙක් පෙනේ.
ආනන්ද, ඒ එසේ ම ය. යොවුන් බැව්හි දිරන ස්වභාව ඇත්තේ නිරෝගි බැව්හි රෝගී ස්වභාව ඇත්තේ දිවියෙහි මැරෙන ස්වභාව ඇත්තේ වෙයි. සිවිපැහැය ඒතාක් නො ද පිරිසිදු වෙයි. නො ද හාත්පසින් බබළන්නේ වේ. සියලු අවයවයෝ ලිහිල් වූවාහු හටගත් රැලි ඇත්තාහු ද වෙති. කය ද ඉදිරියට නැඹුරැ වූයේ වේ. ඉඳුරන්ගේ ද එනම් චක්ඛුන්ද්රියයේත් සෝතින්ද්රියයේත් ඝානින්ද්රියයේත් ජිව්හින්ද්රියයේත් කායින්ද්රියයේත් වෙනස්බවෙක් පෙනේ යි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතු ද මෙය වදාළ සේක:
එම්බල ලාමක ජරාව, දුර්වර්ණනා කරනසුලු ජරාව, තට නින්දා වේවා. ඒතාක් මනරම් සිරුර ජරාවෙන් මඩනා ලද්දේ ය.
යමෙක් සියවසක් ජීවත්වතු දු හෙතෙමේත් මරු වසඟ වන්නේ ය. කිසිවක් අත් නො හරී. සියල්ල ම මැඩලා යි.
4. 5. 2.
උණ්ණාභබ්රාහ්මණ සූත්රය
1726. එකල්හි උණ්ණාභ බමුණු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් උණ්ණාභ බමුණු භාග්යවතුන් වහන්සේට මෙය කීය: “භවත් ගෞතමයෙනි, මේ පසිඳුරෝ වෙන් වෙන් විෂය ඇත්තාහු වෙන් වෙන් අරමුණු ඇත්තාහු ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිත්. කවර පසෙක් ද යත්: චක්ඛුන්ද්රියය ... කායින්ද්රිය යි. භවත් ගෞතමයෙනි, වෙන් වෙන් විෂය ඇති වෙන් වෙන් අරමුණු ඇති ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිනා මේ පසිඳුරන්ට කිමෙක් පිළිසරණ ද? කවරෙක් ඔවුන්ගේ අරමුණු විෂය විඳී දැ යි.
බමුණ, මේ පසිඳුරෝ වෙන් වෙන් විෂය ඇත්තාහු වෙන් වෙන් අරමුණු ඇත්තාහු ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිත්. කවර පසෙක් ද යත්: චක්ඛුන්ද්රිය ය ... කායින්ද්රිය යි. බමුණ, වෙන් වෙන් විෂය ඇති වෙන් වෙන් අරමුණු ඇති ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳින මේ පසිඳුරන්ට සිත පිළිසරණ යි. සිත ම ඔවුන්ගේ අරමුණු විෂය විඳී යි. භවත් ගෞතමයෙනි, සිතට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, සිතට සිහිය පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, සිහියට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, සිහියට විමුක්තිය පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, විමුක්තියට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, විමුක්තියට නිවන පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, නිවනට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ ප්රශ්නය ඉක්මවා ගියෙහි ය. ප්රශ්නයෙහි කෙළවර ගැනීමට නො හැකි විය. බමුණ නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට බඹසර වෙසෙන්නේ යි. එකල්හි උණ්ණාභ බමුණු තෙමේ භාග්යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
එකල්හි භාග්යවතුන් වහන්සේ උණ්ණාභ බමුණා නික්ම ගිය නොබෝ කලකින් භික්ෂූන් ඇමතූසේක. මහණෙනි, කුළුගෙයක හෝ කුළුගේහලක හෝ පෙරදිග වාකවුළු යම් සේ ද හිරු උදාවන කල්හි වාකවුළුවෙන් හිරුරැස් පිවිස කොහි පිහිටියා වන්නේ දැ යි? වහන්ස, පැසුළු බිතෙහි ය, මහණෙනි, එසෙයින් ම උණ්ණාභ බමුණාට තථාගතයන් කෙරෙහි ඇතුළට පිවිසි හටගත් මුල් ඇති දැඩි වූ මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ නො වැනසිය හැකි සැදැහැ පිහිටියා ය. මහණෙනි, ඉදින් උණ්ණාභ බමුණු මෙසමයෙහි කලුරිය කරන්නේ නමුදු යම් සංයෝජනයෙකින් යුත් උණ්ණාභ බමුණු නැවත මෙලොවට පැමිණෙන්නේ නම් එබඳු සංයෝජනයෙක් නැතැ යි.
4. 5. 3.
සාකේත සූත්රය
1727. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සාකේතනුවර සමීපයෙහි මිගදාය නම් වූ අඳුන්වෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද? යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද? එබඳු නයෙක් ඇද්ද යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ගෙන ඇතියහ ...