4. 3. 2.
ජීවිතින්‍ද්‍රිය සූත්‍රය
1706. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය තුනෙකි. කවර තුනෙක් ද යත්: ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ජීවිතින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු තුන් ඉඳුරෝ යි.
4. 3. 3.
අඤ්ඤින්‍ද්‍රිය සූත්‍රය
1707. මහණෙනි, ඉන්‍ද්‍රිය තුනෙකි. කවර තුනෙක් ද යත්: අඤ්ඤතඤ්ඤස්සාමිතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු තුන් ඉඳුරෝ යි.
4. 3. 4.
ඒකබීජී සූත්‍රය
1708. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි, මහණෙනි, මොහු පසිඳුරෝ ය. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්චපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් ඒකබීජී (=එක් පිළිසඳක් ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් කොලංකොල (=දෙතුන් පිළිසඳක් ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සත්තක්ඛත්තුපරම (=සත්වන පිළිසඳ කෙළවරකොට ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වේ යි.
4. 3. 5.
සුද්ධක සූත්‍රය
1709. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය සෝතින්‍ද්‍රිය ඝානින්‍ද්‍රිය ජිව්හින්‍ද්‍රිය කායින්‍ද්‍රිය මනින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු සඉඳුරෝ යි.
4. 3. 6.
සෝතාපන්න සූත්‍රය
1710. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක අරිසවු මේ සයිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනී ද, මහණෙනි, මේ අරිසවු සිවුඅපාහි නොහෙන සැහැවි ඇති නියත් වූ මතු තුන්මඟ නමැති සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුල් යි කියනු ලැබේ යි.
4. 3. 7.
අරහන්ත සූත්‍රය
1711. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක මහණ මේ සයිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුනේ වේ ද, මහණෙනි, මේ මහණ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹවර ඇති කළ සිවුමඟ කටයුතු ඇති බහා තැබූ කෙලෙස් බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාත්‍ථිය ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැයි කියනු ලැබේ යි.