4. 17. 1-119.
ඕඝාදි සූත්‍ර
2091-2209. මහණෙනි, මේ ඕඝ සතරෙකි ... වැඩියයුත්තාහ යි.
4. 17. 120.
උද්ධම්භාගිය සූත්‍රය
2210. මහණෙනි, මේ උද්ධම්භාගියසංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: “රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා” යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගියසංයෝජනයන් ප්‍රහීණ කිරීම පිණිස පසිඳුරෝ වැඩියයුත්තාහ. කවර පසිඳුරෝ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට සද්ධින්‍ද්‍රිය වඩයි ... නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගියසංයෝජනයන් ප්‍රහීණ කිරීම පිණිස පසිඳුරෝ වැඩියයුත්තාහ යි.
(මෙහි දු කී නයින් ද අභිඥාවශයෙන් ද විතර කරන්නහු විසින් එක්සියවිසි සූත්‍රාන්ත කෙනෙන් දතයුත්තාහ.)
සතළොස්වැනි පුනඔඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්‍ර ද්වාදශක දශයෙකි. මුළුල්ල එක්සිය විස්සෙකි යි.
ඉන්‍ද්‍රියසංයුත්තය නිමි.
එහි වර්‍ගනාමාවලිය:
සුද්ධක, මුදුතර, ඡළින්‍ද්‍රිය වර්‍ගයෝ සුඛින්‍ද්‍රිය ජරාවර්‍ග දෙක සමග පසෙක් වේ. (නැවත) සූකරඛත, සම්බෝධි, ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝවර්‍ගයෝ වෙති. ඔහු පුනගඞ්ගාපෙය්‍යාල ආදි පසත් සමග (ඉන්‍ද්‍රියසංයුත්තයෙහි) වර්‍ග සතළොසෙකි වේ යි.
5. සම්මප්පධාන සංයුත්තය
1. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
5. 1. 1.
පාචීනනින්න සූත්‍රය
2211. සැවැත්නුවර:
මහණෙනි, මේ සම්මප්පධාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනී. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහීණ කිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිය සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම පිණිස නුමුළාබව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මොහු සතර සම්මප්පධානයෝ යි.
මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බරවූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණය පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් උපදනා පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි.