4. 1. 8.
දට්ඨබ්බ සූත්‍රය
1692. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්; සිවුසොවත්අඟෙහිය. මෙහි ලා සද්ධින්‍ද්‍රිය දතයුතු. මහණෙනි, විරියින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුසම්පදහන්හි ය. මෙහි ලා විරියින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, සතින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුසීවටන් හි ය. මෙහි ලා සතින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, සමාධින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුදැහැන් හි ය. මෙහි ලා සමාධින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කොහි ලා දත ද යත්: සිවුඅරීසස් හි ය. මෙහි ලා පඤ්ඤින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 1. 9.
විභඞ්ග සූත්‍රය
1693. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැ ඇත්තේ වේ, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්‍හත් හ. සම්මාසම්බුද්ධහ. විජ්ජාචරණ සම්පන්නහ. සුගත්හ. ලෝකවිදූහ. අනුත්තරපුරිසදම්මසාරථිහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ. බුද්ධහ. භගවත්හ” යි තථාගතයන් වහන්සේගේ බුදුබව හදහ යි. මහණෙනි, මේ සද්ධින්‍ද්‍රියයි කියනු ලැබේ.
මහණෙනි, විරියින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු අකුසල්දහම් පැහීම පිණිස කුසල්දහම් රැස්කිරීම පිණිස පිරිපුන් වැර ඇත්තේ කුසල්දහම්හි තිර වැර ඇත්තේ දැඩි පැරකුම් ඇත්තේ නො බහා තැබූ ධුර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මේ විරියින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, සතින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ සිහි ඇත්තේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහි කරනු යේ වෙයි. මහණෙනි, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, සමාධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිත්හී එකඟබව ලබයි. මහණෙනි, මේ සමාධින්‍ද්‍රියයි කියනු ලැබේ.
මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු පැණ ඇතියේ උදයව්‍යය පිරිසිඳ දක්නා ආර්‍ය්‍ය වූ නිර්වේදයට සමත් වූ, මැනවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 1. 10.
දුතිය විභඞ්ග සූත්‍රය
1694. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැත්තේ වෙයි. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙව්මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධහ, භගවත් හ යි තථාගතයන් වහන්සේගේ බුදුබව හදහයි. මහණෙනි, මේ සද්ධින්‍ද්‍රිය යි කියනු ලැබේ.
මහණෙනි, විරියින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු අකුසල්දහම් පැහීම පිණිස කුසල්දහම් රැස් කිරීම පිණිස ඇරැඹුණු වැර ඇතියේ කුසල්දහම්හි තිරවැර ඇතියේ දඩිපැරකුම් ඇතියේ නොබහා තැබූ වැර ඇතියේ වෙසෙයි. හේ නූපන් ලාමක අකුසල්දහම් නොඉපැද්ම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙ යි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. උපන් ලාමක අකුසල්දහම් පැහීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. නූපන් කුසල්දහම් ඉපැත්ම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. උපන් කුසල්දහම් පැවැත්ම පිණිස නොමුළා බව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. මහණෙනි, මෙය විරියින්‍ද්‍රිය යි කියනු ලැබේ.