4. 1. 1.
සුද්ධික සූත්‍රය
1685. සැවැත්නුවර:
මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි, කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පස ඉන්‍ද්‍රියෝ යි.
4. 1. 2.
සෝත සූත්‍රය
1686. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක අරිසවු මේ පසිඳුරන්ගේ රස විඳගැන්මත් දොසත් නික්ම යෑමත් තතුසේ දනී ද: මහණෙනි, මේ අරීසවු නිරෑහි නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න යි කියනු ලැබේ යි.
4. 1. 3.
දුතිය සෝත සූත්‍රය
1687. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්; සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක අරීසවු මේ පසිඳුරන්ගේ හටගැන්මත් වැනසුමත් රස විඳගැන්මත් දොසත් නික්ම යෑමත් තතුසේ දනී ද; මහණෙනි, මේ අරීසවු නිරෑහි නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න යි කියනු ලැබේ යි.
4. 1. 4.
අරහන්ත සූත්‍රය
1688. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක මහණ, මේ පසිඳුරන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුණේ වේ ද; මහණෙනි, මේ මහණ ක්‍ෂයවූ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.
4. 1. 5.
දුතිය අරහන්ත සූත්‍රය
1689. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක මහණ, මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුණේ වේ ද; මහණෙනි, මේ මහණ ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමඟ කිස ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.
4. 1. 6.
සමණ සූත්‍රය
1690. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්; සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතුසේ නොදනිත් ද; මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණුහු හෝ මහණුන් කෙරෙහි හෝ මහණහ යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණ හයි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත් හු මහණබවෙහි අරුත හෝ බමුණු බවෙහි අරුත හෝ දිටුදැමියෙහි තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත්.
මහණෙනි, යම්කිසි මහණකෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතුසේ දනිද්ද; මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහ යි සම්මතහ. බමුණන් කෙරෙහිත් බමුණ හ යි සම්මතහ. ඒ ඇවැත්හු ද (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය බ්‍රහ්මණ්‍යාර්‍ත්‍ථය දිටුදැමියෙහි තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 1. 7.
දුතිය සමණ සූත්‍රය
1691. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සද්ධින්‍ද්‍රිය නො දනිත් ද, සද්ධින්‍ද්‍රිය සමුදය නො දනිත්ද, සද්ධින්‍ද්‍රිය නිරෝධය නො දනිත්ද, සද්ධින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද, විරියින්‍ද්‍රිය නො දනිත්ද, ... සතින්‍ද්‍රිය නො දනිත්ද, ... සමාධින්‍ද්‍රිය නො දනිත්ද, ... පඤ්ඤින්‍ද්‍රිය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය සමුදය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරෝධය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණ යයි යම්මත නො වෙත්. බමුණන් කෙරෙහි හෝ බමුණු යයි සම්මත නො වෙත්. ඒ ඇවැත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණ්‍යාර්‍ත්‍ථය හෝ දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත්.