8. බලකරණීය වර්‍ගය
3. 8. 1-48.
බලාදි සූත්‍ර
1317-1364. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණියකර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
(බලකරණියවර්‍ගය ද සීවටන් විසින් විතර කට යුතු)
අටවැනි බලකරණියවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, යන චතුෂ්ක සත ද මේඝචතුෂ්ක දෙක ද නාවා, ආගන්තුක, නදී, චතුෂ්ක තුන දැ යි මුළුල්ල දොළොසෙකි. සූත්‍ර අටසාලිසෙකි යි.
(මෙහි දු එකෙක සතරක් සතරක් කොට අටසාලිස් සූත්‍රාන්තයෝ විතර කට යුතුහ.)
9. ඒසනා වර්‍ගය
3. 9. 1-160.
ඒසනාදි සූත්‍ර
1365-1524. මහණෙනි, මේ ඒසනා තුනෙ කි. කවර තුනෙක් ද යත්: කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි ... වැඩිය යුත්තේ යි.
(ඒසනාවර්‍ගය ද, සීවටන් විසින් විතර කට යුතු)
නවවැනි ඒසනාවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
ඒසනා විධා ආසව භව දුක්ඛතා ඛීල මල නීඝ වේදනා තණ්හා යි ෂෝඩශක දශයෙ කි. සූත්‍ර මුළුල්ල එක්සිය සැටෙකි.
(කියන ලද සිවුනයින් ද, නැවත ඔවුන් අභිඤ්ඤා ය පරිඤ්ඤා ය පරික්ඛයාය පහානාය යි සිවුනයින් ද බෙදන්නහු විසින් එකෙක සොළස සොළස කොට එක්සියසැට සූත්‍රාන්තයෝ විතර කට යුතු හ.)
10. ඕඝ වර්‍ගය
3. 10. 1-159.
ඕඝාදි සූත්‍ර
1525-1683. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි. මහණෙනි, මේ ඕඝසතර යි. මහණෙනි, මේ චතුරෝඝයන් වෙසෙසින් දැනීම පිණිස සිවුසීවටන් වැඩිය යුතු. කවර සතරෙක් ද යත්: ... වැඩිය යුත්තේ යි.
3. 10. 160.
උද්ධම්භාගිය සූත්‍රය
1684. මහණෙනි, මේ උද්ධම්භාගියසංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස යි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස පැහීම පිණිස සිවුසීවටන් වැඩිය යුතු. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ උද්ධම්භාගියසංයෝජන පස පැහීම පිණිස මේ සිවුසීවටන්හු වැඩිය යුතුහ යි.
(ඕඝ වර්‍ගය ද, සීවටන් විසින් විතර කට යුතු)
දශවැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යී ෂෝඩශක දශයෙකි. (සූත්‍ර එක්සියසැටෙකි) යි.
(මෙහි දු එසනාවර්‍ගයෙහි මෙන් එක්සියසැටසූත්‍රාන්තයෝ විතර කට යුතුහ.)
සතිපට්ඨානසංයුත්තය නිමියේ යි.
එහි වර්‍ගනාමාවලිය:
අම්බපාලි, නාලන්‍ද, සීලට්ඨිති, අනනුස්සුත, අමත, ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ යි (සතිපට්ඨානසංයුත්තයෙහි වර්‍ග දශයෙකි යි.)