3. 5. 3.
මග්ග සූත්‍රය
1221. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මම බුදු ව පළමු කොට එක්සමයෙක උරුවෙල්දනවුහි නේරඤ්ජා ගංඉවුරෙහි අජපල්නුගරුක මුල්හි වෙසෙමි. මහණෙනි, එකලා වූ විවේකයෙන් යුත් ඒ මට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය:
“යම් මේ සතරසතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවීම පිණිස දුක් දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කරනු පිණිස නිවන පසක්කිරීම පිණිස මේ එක ම මඟය. කවර සතරෙක් ද යත්: මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. මහණ විඳුම්හි හෝ විඳුම් අනුව දක්නාසුලු ව ... වෙසෙන්නේ ය. මහණ සිත්හි හෝ සිත් අනුව දක්නාසුලු ව වෙසෙන්නේ ය. මහණ දහම්හි හෝ දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. යම් මේ සතරසතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස දුක් දොම්නස් දුරු කරනු පිණිස අරිඅටඟිමඟ අවබෝධ කරනු පිණිස නිවන පසක්කරනු පිණිස මේ එක ම මඟ වේ” යි.
මහණෙනි, එකල්හි සහම්පති බ්‍රහ්මතෙමේ මාගේ චිත්තවිතර්‍කය සියසිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් හෝ දිගු කරන්නේද; දිගු කළ අතක් හෝ හකුලුවන්නේද: එසෙයින් ම බඹලොව අතුරුදන් ව මා ඉදිරියෙහි පහළ විය. මහණෙනි, ඉක්බිති සහම්පති බ්‍රහ්ම උතුරුසඟ එකස් කොට මා වෙත එළඹැ ඇඳිලි බැඳ මට මෙසේ සැලකෙළේ ය:
භාග්‍යවතුන් වහන්ස, මෙය එසේ ය. සුගතයන් වහන්ස, මෙය එසේය. වහන්ස, යම් මේ සතරසතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්ත්‍වයන්ගේ විශුද්ධියට ශෝකපරිදේවයන් ඉක්මවීමට දුක් දොම්නස් දුරු කිරීමට ඤායය අවබෝධ කිරීමට නිවන පසක්කිරීමට මේ එක ම මඟ ය. කවර සතරෙක් ද යත්: වහන්ස, මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. වහන්ස, මහණ විඳුම්හි හෝ විඳුම් අනුව දක්නාසුලු ව ... වෙසෙන්නේ ය. වහන්ස, මහණ සිත්හි හෝ සිත් අනුව දක්නාසුලු ව ... වෙසෙන්නේ ය. වහන්ස, මහණ දහම්හි හෝ දහම් අනුව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේය. වහන්ස, යම් මේ සතර සතිපට්ඨානකෙනෙක් වෙත් නම් සත්ත්‍වයන්ගේ විශුද්ධියට ශෝකපරිදේවයන් ඉක්මවීමට දුක් දොම්නස් දුරු කිරීමට ඤායය අවබෝධ කිරීමට නිවන පසක් කිරීමට මේ එක ම මඟ වේ යි. මහණෙනි, සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා යළි මේ ගය ද කී:
නිවන දක්නාසුලු වූ හිතානුකම්පා ඇති භාග්‍යවතුන් වහන්සේ ඒකායනමාර්‍ගය (-සිවුසීවටන්) දන්නා සේක. යම් කෙනෙක් (දැන් යම් මඟකින්) චතුරෝඝ තරණය කෙරෙත් නම් පෙරත් මේ මඟින් තරණය කළහ. (මතුත්) තරණය කරන්නාහ යි.