3. 4. 1.
අනනුස්සුත සූත්‍රය
1209. සැවැත්නුවර:
මහණෙනි, මේ කයෙහි කය අනුව දැක්ම ය යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය, නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ කයෙහි කය අනුව දැක්ම වැඩිය යුතු ය යි මා විසින් ... මහණෙනි, වඩන ලදැ යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය, නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මේ වේදනාවන්හි වේදනා අනු ව දැක්ම යයි ... මේ සිත්හි සිත් අනුව දැක්ම යයි ... මහණෙනි, මේ දහම්හි දහම් අනුව දැක්ම යයි මා විසින් පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දහම්හි දහම් අනුව දැක්ම වැඩිය යුතු යයි මා විසින් … මහණෙනි, වඩන ලදැ යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය. නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී යයි.
3. 4. 2.
විරාග සූත්‍රය
1210. මහණෙනි, මේ සිවුසීවටන්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ක්ලේශව්‍යපශමය විශිෂ්ටඥානය චතුස්සත්‍යාවබෝධය නිර්‍වාණය පිණිස පවතිත්. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ක්ලේශව්‍යපශමය විශිෂ්ටඥානය චතුස්සත්‍යාවබෝධය නිර්‍වාණය පිණිස පවතිත් යි.
3. 4. 3.
විරජ්ජ සූත්‍රය
1211. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු වරද්දන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග වරද්දන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග අරඹන ලද්දේ ය. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සිවුසීවටන්හු වරද්දන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග වරද්දන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග අරඹන ලද්දේ යි.
3. 4. 4.
භාවිත සූත්‍රය
1212. මහණෙනි, මේ සතරසතිපට්ඨානයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යාම පිණිස පවතිත්, කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව ... වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ සතරසතිපට්ඨානයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත් යි.
3. 4. 5.
සතෝ සූත්‍රය
1213. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේය. මෙය තොපට අපගේ අනුසාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව … විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ මනා දැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහට වේදනාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. විතර්‍කයෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. සංඥාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. මහණෙනි, මෙසේ මහණ මනා දැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.