3. 3. 7.
සමත්ත සූත්රය
1205. කණ්ටකීවනයෙහි:
ඇවැත්නි අනුරුද්ධයෙනි, අසේඛ ය අසේඛ යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් අසේඛ වේ දැ යි. ඇවැත්නි, සිවුසීවටන් මුළුමනින් වැඩූ බැවින් අසේඛ වේ. කවර සතරෙක් ද? යත්: ඇවැත්නි, මෙහි මහණතෙමේ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන් මුළුමනින් වැඩූ බැවින් අසේඛ වේ යි.
3. 3. 8.
ලෝක සූත්රය
1206. කණ්ටකීවනයෙහි:
ආයුෂ්මත් අනුරුද්ධයෝ කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ (මහනුවණැති) බවට පැමිණියෝ දැ යි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහනුවණැති බවට පැමිණියෙමි යි. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇතිව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහනුවණැති බවට පැමිණියෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම දහසක් ලොව වෙසෙසින් දනිමි යි.
3. 3. 9.
සිරිවඩ්ඪ සූත්රය
1207. එක්සමයෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි සිරිවඩ්ඨ ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි සිරිවඩ්ඨ ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය. එම්බල පුරුෂය, එව. තෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹෙව. එළඹ “වහන්ස, සිරිවඩ්ඨ ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ ආනන්ද ආයුෂ්මතුන් වහන්සේගේ පා හිසින් වඳී” යි මා වදනින් ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ගේ පා හිසින් වඳුව, මෙසේත් කියව: වහන්ස, ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ අනුකම්පා පිණිස සිරිවඩ්ඨ ගැහැවිහුගේ නිවෙස වෙත එළඹෙන සේක් නම් මැනවැ යි.