3. 1. 3.
භික්ඛු සූත්රය
1181. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, මම භාග්යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් නොපමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් එබඳු දහමක් මට සැකෙවින් දෙසන සේක්වා යි. මෙහි ඇතැම් හිස් පුරුෂයෝ මෙසේ ම මට ආරාධනා කෙරෙත්. දහම් දෙසූ කල්හි මා ම ලුහුබැඳිය යුතු කොට හඟිති යි. වහන්ස, භාග්යවතුන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. මම භාග්යවතුන් වහන්සේගේ දහම් අරුත දැනගන්නෙම් නම් ඉතා යෙහෙකැ. මම භාග්යවතුන් වහන්සේගේ ශාසනය පිළිබඳ දායාදයෙක් වන්නෙම් නම් ඉතා යෙහෙකැ යි.
මහණ, එසේ නම් තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල් දහමුන්ගේ මුල කවරේද යත්: ඉතා පිරිසිදු ශීලයත් ඍජු වූ දෘෂ්ටියත්ය. මහණ, යම් කලෙක තොපගේ ශීලය ඉතා පිරිසිදු වන්නේ ද, දෘෂ්ටියත් ඍජු වන්නී ද එකල්හි මහණ තෙපි ශීලය ඇසුරු කොට ශීලයෙහි පිහිටා සතර සීවටන් තුන් අයුරෙකින් වඩන්නහු ය. කවර සිවුදෙනෙක් ද යත්: මහණ මෙහි තෙපි සිය කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙ වු. මෙරමා කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසෙවු. සිය මෙරමාකයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වැර ඇතිව මනා දැනු ම් ඇතිව සිහි ඇති ව කය ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු.
සිය වේදනාවන්හි … මෙරමා වේදනාවන්හි … සිය මෙරමා වේදනාවන්හි වේදනා අනුව බලනසුලු ව වෙසෙ වු ... සිය සිත්හි … මෙරමා සිත්හි … සිය මෙරමා සිත්හි සිත් අනුව බලනසුලු ව වෙසෙවු ... සිය දහම්හි ... මෙරමා දහම්හි … සිය මෙරමා දහම්හි දහම් අනු ව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, යම් කලෙක තෙපි සීලය ඇසුරු කොට සීලයෙහි පිහිටා මේ සිවු සීවටන් මෙසේ තුන් අයුරෙන් වඩන්නහු නම් මහණ එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම් කුසල්දහම්හි වැඩීමෙක් ම කැමති වියයුතු. පිරිහීමෙක් නොකැමැති වියයුතු.
ඉක්බිති ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි ඒ මහණ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයේ නොපමා ව කෙලෙස් තවන වැර ඇත්තේ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නේ නොබෝ කලකින් ම කුලපුත්තු යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද්ද, මඟබඹසර කෙළවර වූ ඒ අනුත්තර අර්හත්ත්වය තෙමේ ම වෙසෙස්නුවණින් පසක් කොට ඊට පැමිණ විසී ය. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගත්තේ ය. ඒ මහණ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වී යයි.
3. 1. 4.
සාලා සූත්රය
1182. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, අලුත පැවිදි වූ ළඟ දී මෙසස්නට පැමිණි යම් ඒ නවක භික්ෂූහු වෙත් නම් මහණෙනි, ඒ භික්ෂූහු තොප විසින් සිවුසීවටන් වඩනු පිණිස සමාදන් කරවිය යුතුවහ. වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ. කවර සතරක් ද යත්: ඇවැත්නි, එව තෙපි කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව කය තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්රචිත්ත ව වෙසෙවු. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව වේදනාවන් තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්රචිත්ත ව වෙසෙවු. සිත්හි සිත් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව සිත තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්රචිත්ත ව වෙසෙ වු. දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව දහම් තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්රචිත්ත ව වෙසෙවු.