12. 4. 7.
සුරියූපම සූත්‍රය
3879. මහණෙනි, යම් මේ අරුණෝදයයෙක් වේ නම් උදා වන හිරුට මෙය පෙරටු ය. මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ සම්දිටෙක් වේ නම් මහණහට සිවුඅරීසස් තතුසේ නුවණින් පිළිවිදිනු පිණිස මෙය පෙරටු ය, මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, සම්දිටු ගත් මහණහු විසින් “මේ දුකැ” යි තතුසේ දැනගන්නේ ය ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දැනගන්නේ ය” යන මෙය කැමැති විය යුතු යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 8.
දුතිය සුරියූපම සූත්‍රය
3880. මහණෙනි, යම් තාක් මේ සඳහිරුහු ලොව නූපදිද්ද, ඒ තාක් මහත් එළිය මහත් බැබළීම පහළවීමෙක් නො ම වේ. එකල්හි ගනඳුර, බලවත් කළුවර වෙයි. ඒ තාක් රෑදාවල් නො ම පෙනේ. මස් අඩමස් නො ම පෙනේ. ඍතුසංවස්තර නො ම පෙනේ. මහණෙනි, යම් කලෙක සඳහිරුහු ලොව උපදිද්ද එකල්හි මහත් එළිය මහත් බැබළීම පහළවීම වේ. එකල්හි ගනඳුර නො ම වේ. බලවත් කළුවර නො ම වේ. එකල්හි රෑදාවල් පෙනේ. මස් අඩමස් පෙනේ. ඍතුසංවස්තර පෙනේ.
මහණෙනි, එසෙයින් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ යම් තාක් ලොව නූපදිත් ද, ඒ තාක් මහත් එළිය මහත් බැබළීම පහළවීමෙක් නො වේ. එකල්හි ගනඳුර, බලවත් කළුවර වේ. ඒ තාක් චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කිරීමෙක් දේශනා කිරීමෙක් පැනවීමෙක් පිහිටුවීමෙක් විවර කිරීමෙක් බෙදීමෙක් උඩුහුරු කිරීමෙක් නො ම වේ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයෝ යම් කලෙක ලොව උපදිත් ද, එකල මහත් එළිය මහත් බැබළීම පහළවීම වේ. එකල ගනඳුර නොම වේ. බලවත් කළුවර නො ම වේ. එකල චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කිරීම දේශනා කිරීම පැනවීම පිහිටුවීම විවර කිරීම බෙදීම උඩුහුරු කිරීම වේ. කවර චතුරාර්‍ය්‍යසත්‍යය යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 9.
ඉන්‍දඛීල සූත්‍රය
3881. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ නො දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස බලත්. මහණෙනි, යම්සේ සැහැල්ලු වූ වාගන්නා හිඹුල්පුලුන හෝ කපුපුලුන හෝ සමබිමක තබන ලද්දේ වේ ද, ඒ මෙය පෙරදිගින් හමන වාතය පැළදිගට ගෙනයන්නේ ය. පැළදිගින් හමන වාතය පෙරදිගට ගෙනයන්නේ ය. උතුරුදිගින් හමන වාතය දකුණුදිගට ගෙනයන්නේ ය. දකුණුදිගින් හමන වාතය උතුරුදිගට ගෙනයන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, කපුපුලුන සැහැල්ලු බැවිනි. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ නො දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන්මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස බලත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිවුඅරීසස් නුදුටු බැවිනි.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ දුකැ යි තතුසේ දනිද්ද ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි තතුසේ දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස නො බලත්. මහණෙනි, යම්සේ ගැඹුරු බිමට පිවිසි නිමාව ඇති මැනවින් සිටුවන ලද නිසල වූ නො සැලෙනසුලු යහුලෙක් හෝ හිම් කණුවෙක් හෝ වේ ද, ඉදිනුදු පෙරදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නො ම සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඉදිනුදු පැළ දිගින් ... ඉදිනුදු උතුරු දිගින් ... ඉදිනුදු දකුණුදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නො ම සල්වන්නේය. නො ම වෙවුළුවන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුල ගැඹුරු බැවිනි. හිම්කණුව මැනවින් සිටුවන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ”යි තතුසේ දනිද්ද, ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතුසේ දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන්මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස නො බලත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිවුඅරීසස් මැනවින් දුටු බැවිනි. කවර සිවුඅරීසස් ද යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි”. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුඃඛ යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.