12. 4. 5.
සත්තිසත සූත්රය
3877. මහණෙනි, “යම්සේ වස් සියයක් ආයු ඇති වස් සියයක් ජීවත්වනසුලු පුරුෂයෙක් වේ ද, තෙල මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බා පුරුෂය, එව. පෙරවරු තා සැත් සියයෙකින් පෙළන්නාහ. මද්දහන සැත් සියයෙකින් පෙළන්නාහ. පස්වරු සැත් සියයෙකින් පෙළන්නාහ. එම්බා පුරුෂය, ඒ තෝ දවස් පතා තුන් තුන් සැත් සියයෙන් පෙළනු ලබන්නේ වස් සියයක් ආයු ඇත්තේ වස් සියයක් ජීවත්වනසුලු වූයේ වස් සියය ඇවෑමෙන් අවබෝධ නො කළ චතුරාර්ය්යසත්යය අවබෝධ කරන්නෙහි” යි. මහණෙනි, අනුසස් දක්නා කුලපුතු විසින් එළඹෙන්නට සුදුසු යි. ඒ කවර හෙයින යත්: “මහණෙනි, මෙසසර නොදත් අක්මුල් ඇත්තේ ය. සැත්පහර කඩුපහර පිළිබඳ පෙරපසු කෙළවරෙක් නො පෙනේ. මහණෙනි, මෙය මෙසේත් වන්නේ ය: “මහණෙනි, මම සදුක් ව සදොම්නස් ව සිවුඅරීසස් අවබෝධයක් නො ම කියමි. මහණෙනි, වැලිදු මම සුව සහිත ව සොම්නස් සහිත ව සිවුඅරීසස් අවබෝධ කිරීම් කියමි. කවර සිවුසස් ද යත්: “දුඃඛාර්ය්යසත්ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය යි” මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදාරියසච්ච” යි වීර්ය්ය කටයුතු යි.
12. 4. 6.
පාණ සූත්රය
3878. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව තණ දැව අතුපත් සැස එක් කොට රැස් කරන්නේ ය. එක් කොට රැස් කර හුල් කරන්නේ ය. හුල් කොට මහමුහුදෙහි යම් ප්රාණීහු වෙත් නම් ඔවුන් මහත් හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් මැදුම් පමණ ප්රාණීහු වෙත් නම් ඔවුන් මැදුම් පමණ හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් සියුම් ප්රාණීහු වෙත් නම් ඔවුන් සියුම් හුල්හි අමුණන්නේ ය යන යමෙක් වේ ද, මහණෙනි, (එහිලා) මහමුහුදෙහි ඖදාරික ප්රාණීහු නො ගන්නා ලද්දෝ වන්නාහ. වැලි මේ දඹදිව තණ දැව අතුපත් ක්ෂයවීමට අවසන් වීමට යන්නේ ය. යම් කෙනෙක් හුල්හි අමුණන්නට සුකර නො වෙත් නම් මහමුහුදෙහි එබඳු සියුම් ප්රාණීහු එයට වඩා ඉතා බොහෝ වෙත්. ඒ කවර හෙයින යත්: “මහණෙනි, අත්බැව සියුම් බැවිනි.” මහණෙනි, අපාය මෙසේ මහත් ය. මහණෙනි, මෙසේ මහත් අපායෙන් යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී නම් ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී නම් එබඳු දිටුසපන් පුඟුල් තෙමේ මිදුණේ ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්ය්ය කටයුතු ... මේ “දුඃඛනිරෝධගාමිනීප්රතිපදා” යි වීර්ය්ය කටයුතු යි.
12. 4. 7.
සුරියූපම සූත්රය
3879. මහණෙනි, යම් මේ අරුණෝදයයෙක් වේ නම් උදා වන හිරුට මෙය පෙරටු ය. මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ සම්දිටෙක් වේ නම් මහණහට සිවුඅරීසස් තතුසේ නුවණින් පිළිවිදිනු පිණිස මෙය පෙරටු ය, මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, සම්දිටු ගත් මහණහු විසින් “මේ දුකැ” යි තතුසේ දැනගන්නේ ය ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දැනගන්නේ ය” යන මෙය කැමැති විය යුතු යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්ය්ය කටයුතු ... මේ “දුඃඛනිරෝධගාමිනී ප්රතිපදා” යි වීර්ය්ය කටයුතු යි.
12. 4. 8.
දුතිය සුරියූපම සූත්රය
3880. මහණෙනි, යම් තාක් මේ සඳහිරුහු ලොව නූපදිද්ද, ඒ තාක් මහත් එළිය මහත් බැබළීම පහළවීමෙක් නො ම වේ. එකල්හි ගනඳුර, බලවත් කළුවර වෙයි. ඒ තාක් රෑදාවල් නො ම පෙනේ. මස් අඩමස් නො ම පෙනේ. ඍතුසංවස්තර නො ම පෙනේ. මහණෙනි, යම් කලෙක සඳහිරුහු ලොව උපදිද්ද එකල්හි මහත් එළිය මහත් බැබළීම පහළවීම වේ. එකල්හි ගනඳුර නො ම වේ. බලවත් කළුවර නො ම වේ. එකල්හි රෑදාවල් පෙනේ. මස් අඩමස් පෙනේ. ඍතුසංවස්තර පෙනේ.
මහණෙනි, එසෙයින් ම අර්හත් සම්යක් සම්බුද්ධ වූ තථාගතයෝ යම් තාක් ලොව නූපදිත් ද, ඒ තාක් මහත් එළිය මහත් බැබළීම පහළවීමෙක් නො වේ. එකල්හි ගනඳුර, බලවත් කළුවර වේ. ඒ තාක් චතුරාර්ය්යසත්යය ප්රකාශ කිරීමෙක් දේශනා කිරීමෙක් පැනවීමෙක් පිහිටුවීමෙක් විවර කිරීමෙක් බෙදීමෙක් උඩුහුරු කිරීමෙක් නො ම වේ. මහණෙනි, අර්හත් සම්යක්සම්බුද්ධ වූ තථාගතයෝ යම් කලෙක ලොව උපදිත් ද, එකල මහත් එළිය මහත් බැබළීම පහළවීම වේ. එකල ගනඳුර නොම වේ. බලවත් කළුවර නො ම වේ. එකල චතුරාර්ය්යසත්යය ප්රකාශ කිරීම දේශනා කිරීම පැනවීම පිහිටුවීම විවර කිරීම බෙදීම උඩුහුරු කිරීම වේ. කවර චතුරාර්ය්යසත්යය යත්: දුඃඛාර්ය්යසත්ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්රතිපදා” යි වීර්ය්ය කටයුතු යි.