12. 3. 10.
ගවම්පති සූත්‍රය
3872. එක්කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු වෙති දනව්වෙහි සහජාතිභූමියෙහි වෙසෙත්. එකල පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව හුන් ස්ථවිර භික්‍ෂූන් අතර මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යමෙක් දුක්ඛය දකී ද, හෙතෙම දුක්ඛ සමුදයත් දකී. දුක්ඛනිරෝධයත් දකී. දුක්ඛනිරෝධගාමිනීපටිපදාවත් දකී” යි.
මෙසේ කී කල්හි ඇවැත් ගවම්පති තෙරණුවෝ මහණුන්හට මෙය කීහ: “ඇවැත්නි, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී, හමුවෙහි පිළිගන්නා ලදී.” “මහණෙනි, යමෙක් දුක දකී ද, හේ දුක්හේතුවත් දකී. දුක් නැවැත්මත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක්හේතුව දකී ද, හේ දුකත් දකී. දුක් නැවැත්මත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක් නැවැත්ම දකී ද, හේ දුකත් දකී. දුක් හේතුවත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක් නැවැත්මට පමුණුවන පිළිවෙත දකී ද, හේ දුකත් දකී. දුක්හේතුවත් දකී. දුක් නැවැත්මත් දකී” යි.
තෙවැනි කෝටිගාමවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
කොටිගම සූත්‍ර දෙකෙකි, අභිසම්බුද්ධ, අරහන්ත, ආසවක්ඛය, මිත්ත යී සතරෙකි. තව ද තථ ලෝක පරිඤ්ඤෙය්‍ය ගවම්පති යී සතරෙක් දැ යි මුළුල්ල දශයෙකි යි.
4. සීසපාවන වර්‍ගය
12. 4. 1.
සිංසපා සූත්‍රය
3873. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඇට්ටේරිය වෙනෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඇට්ටේරිය පත් මඳක් අතින් ගෙන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? මා විසින් යම් ඇට්ටේරිය පත් මඳක් අතින් ගන්නා ලදද, ඇට්ටේරිය රුක් මතුයෙහි යම් පතුත් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද මඳ ඇට්ටේරියපත් ඉතා මඳ ය. යලි ඇට්ටේරිය රුක්මතුයෙහි යම් මේ පත් වේ නම් ඔහු ම ඉතා බොහෝහ”යි මහණෙනි, එසෙයින් ම මා විසින් යමක් වෙසෙසින් දැන නොකියන ලද නම් මෙය ම ඉතා බොහෝ ය. කියන ලද්ද ඉතා මඳ ය. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මෙය නො කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් වූයේ නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. එහෙයින් මා විසින් එය නො කියන ලදී.
මහණෙනි, කිමෙක් මා විසින් කියන ලද ද යත්: මහණෙනි, මේ දුකැ යි මා විසින් කියන ලදී. මේ දුක් හටගැනුමැ යි මා විසින් කියන ලදී. මේ දුක් වැළැක්මැ යි මා විසින් කියන ලදී. මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි මා විසින් කියන ලදී. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මේ කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත ය. මෙය මඟ බඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. එහෙයින් එය මා විසින් කියන ලදී. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුකැ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 2.
ඛදිර සූත්‍රය
3874. මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කිහිරිපතින් හෝ හොරපතින් හෝ ඇඹුල්පතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පකක් හෝ ගෙන යන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මේ කරුණ නැත් ද, මහණෙනි, එසෙයින් ම යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.