12. 2. 7.
අවිජ්ජා සූත්රය
3859. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, අවිද්යා අවිද්යා” යි කියනු ලැබේ. වහන්ස, අවිද්යා නම් කවර යැ? කෙතෙකින් අවිද්යාගතත් වේ දැ”යි. මහණ, යම් දුකෙහි නො දැන්මෙක් දුක් හටගැන්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි නො දැන්මෙක් වේ ද, මහණ, මේ අවිද්යා යි කියනු ලැබේ. මෙතෙකින් අවිද්යාගතත් වේ. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා” යි වීර්ය්ය කටයුතු යි.
12. 2. 8.
විජ්ජා සූත්රය
3860. එකල එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, විද්යා විද්යා”යී කියනු ලැබේ. වහන්ස, විද්යා නම් කවර යැ? කෙතෙකින් විද්යාගතත් වේ දැයි? මහණ, යම් දුකෙහි දැනීමෙක්, දුක් හටගැන්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි දැනීමෙක්, වේ ද, මහණ, මේ ‘විද්යා’ යි කියනු ලැබේ. මෙතෙකින් විද්යාගතත් වෙයි. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්ය්ය කටයුතු යි.
12. 2. 9.
සඞ්කාසන සූත්රය
3861. මහණෙනි, “මේ දුක්ඛාර්ය්යසත්යය” යි මා විසින් පනවන ලදි. එහි අකුරු නො පමණි, ව්යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛාර්ය්යසත්යයයි. මහණෙනි, “මේ දුක්ඛසමුදයාර්ය්යසත්යය යි” මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛසමුදයාර්ය්යසත්යය යි. මහණෙනි, “මේ දුක්ඛනිරෝධාර්ය්යසත්යය” යි මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛනිරෝධාර්ය්යසත්යය යි. මහණෙනි, “මේ දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය” යි මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා”යි වීර්ය්ය කටයුතු යි.
12. 2. 10.
තථ සූත්රය
3862. මහණෙනි, මේ සතරෙක් සත්ය ය. නො වෙනස් වන සුලු ය, අන්පරිදි නොවන සුලු ය. කවර සතරෙක යත්: මහණෙනි, “මේ දුකැ” යි මෙය සත්ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නොවනසුලු ය, “මේ දුක්හේතු” යි මෙය සත්ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නො වනසුලු ය, “මේ දුක් නැවැත්මැ”යි මෙය සත්ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නොවනසුලු ය. “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි මෙය සත්ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නො වනසුලු ය, මහණෙනි, මේ සතර සත්ය ය. නො වෙනස් වනසුලු ය, අන්පරිදි නො වනසුලු ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ”යි වීර්ය්ය කටයුතු. “මේ දුක්හේතු ය”යි වීර්ය්ය කටයුතු. “මේ දුක් නැවැත්මැ”යි වීර්ය්ය කටයුතු. “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
දෙවැනි ධම්මචක්කපවත්තන වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
(ධම්මචක්කප්පවත්තන තථාගත යි) තථාගතනමින් දෙකෙක් කියන ලදි. ඛන්ධ ආයතනනමින් ද දෙකෙකි. ධාරණ සූත්ර ද දෙකෙකි. අවිජ්ජා, විජ්ජා, සඞ්කාසන, තථ යී සතරෙකි. මුළුල්ල දශයෙකි යි.