12. 1. 6.
දුතියසමණබ්‍රාහ්මණ සූත්‍රය
3848. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ (මම්) අවබෝධ කෙළෙමැ යි (තමන්) පැවසූහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කෙළෙමැ යි පැවසූහ. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතු සේ අවබෝධ කෙළෙමැ යි තමන් පවසත් ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අභිසම්බුද්ධය යි පවසත්. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙළෙමැ යි පැවසූහු ද ... පවසන්නාහු ද ... පවසත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසත්. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ “දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 7.
විතක්ක සූත්‍රය
3849. මහණෙනි, ලාමක වූ අකුශල විතර්‍කයන් නහමක් විතර්‍කණය කරවු. එනම්: කාමවිතර්‍ක ය, ව්‍යාපාදවිතර්‍ක ය, විහිංසා විතර්‍ක යි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ විතර්‍කයෝ වැඩ සහිත නො වෙත්. මගබඹසරට මුල් වූවෝ නො වෙත්. නිර්වේදය පිණිස නො පවතිත්. විරාගය පිණිස නො පවතිත්. නිරෝධය පිණිස නො පවතිත්. ව්‍යුපශමය පිණිස නො පවතිත්. අභින්‍දනය පිණිස නො පවතිත්. සම්බෝධිය පිණිස නො පවතිත්. නිර්‍වාණය පිණිස නො පවතිත්. මහණෙනි, තෙපි විතර්‍කණය කරන්නාහු නම් “මේ දුක්ඛ”යි විතර්‍කණය කරවු. ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී විතර්‍කණය කරවු. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ විතර්‍කයෝ වැඩ සහිතයහ. මොහු මගබඹසරට මුල් ය. මොහු නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිපිණිස පවතිත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යී වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 8.
චින්තා සූත්‍රය
3850. මහණෙනි, “ලෝකය ශාශ්වතයැ” යි හෝ “ලෝකය අශාශ්වතයැ”යි හෝ “ලෝකය අන්තවතයැ” යි හෝ “ලෝකය අන්නතවතයැ” යි හෝ “එය ජීවය එය ශරීරය”යි හෝ “ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ”යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ” යී හෝ “සත්ත්‍වයා මරණින් මතු නො වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ” යි ලාමක අකුසල් සිතක් නො සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩ සහිත නො වේ, මඟබඹසරට මුල් නො වේ, නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි සිතන්නාහු නම් “මේ දුක්ඛ”යි සිතවු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥාය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යී වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 9.
විග්ගාහිකකථා සූත්‍රය
3851. මහණෙනි, “තෙපි මේ සස්න නො දනිවු, මම මේ සස්න දනිමි. කිම තෙපි මේ සස්න දනිවු ද, තෙපි වරදවා පිළිපන්නහු වවු. මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු කිය යුත්ත පසු ව කීහු, පසු ව කිව යුත්ත පළමු කීහු. මාගේ වචනය කරුණු සහිත ය. තොපගේ වචනය කරුණු රහිත ය. තොප විසින් දිගුකලක් මුළුල්ලෙහි පුරුදු කරන ලද්ද පෙරළී සිටියේ ය. තොපට දොස් නගන ලද. දොසින් මිදීම පිණිස හැසිරෙවු. නිගා කරන ලදහු යැ, ඉදින් සමත් වවු නම් නිදහස් වවු” යී විරුදධවාදී කථා නො කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි කියන්නාහු නම් “මේ දුක්ඛ”යි කියවු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍යය කටයුතු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.