12. 1. 4.
දුතියකුලපුත්ත සූත්‍රය
3846. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කෙරෙත්. කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනැවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතු සේ අවබෝධ කළාහු ද ... අවබෝධ කරන්නාහු ද ... අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යී වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 5.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
3847. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. කවර චතුරාර්‍ය්‍යසත්‍ය කෙනෙක් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කළාහු ද, ... අවබෝධ කරන්නාහු ද, ... අවබෝධ කෙරෙත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 6.
දුතියසමණබ්‍රාහ්මණ සූත්‍රය
3848. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ (මම්) අවබෝධ කෙළෙමැ යි (තමන්) පැවසූහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කෙළෙමැ යි පැවසූහ. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතු සේ අවබෝධ කෙළෙමැ යි තමන් පවසත් ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අභිසම්බුද්ධය යි පවසත්. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙළෙමැ යි පැවසූහු ද ... පවසන්නාහු ද ... පවසත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසත්. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ “දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 7.
විතක්ක සූත්‍රය
3849. මහණෙනි, ලාමක වූ අකුශල විතර්‍කයන් නහමක් විතර්‍කණය කරවු. එනම්: කාමවිතර්‍ක ය, ව්‍යාපාදවිතර්‍ක ය, විහිංසා විතර්‍ක යි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ විතර්‍කයෝ වැඩ සහිත නො වෙත්. මගබඹසරට මුල් වූවෝ නො වෙත්. නිර්වේදය පිණිස නො පවතිත්. විරාගය පිණිස නො පවතිත්. නිරෝධය පිණිස නො පවතිත්. ව්‍යුපශමය පිණිස නො පවතිත්. අභින්‍දනය පිණිස නො පවතිත්. සම්බෝධිය පිණිස නො පවතිත්. නිර්‍වාණය පිණිස නො පවතිත්. මහණෙනි, තෙපි විතර්‍කණය කරන්නාහු නම් “මේ දුක්ඛ”යි විතර්‍කණය කරවු. ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී විතර්‍කණය කරවු. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ විතර්‍කයෝ වැඩ සහිතයහ. මොහු මගබඹසරට මුල් ය. මොහු නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිපිණිස පවතිත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යී වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.