12. 1. 1.
සමාධි සූත්රය
3843. මා විසින් මෙසේ අසන ලදි. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක ... මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, එකඟ සිත් ඇති මහණ තෙමේ තතුසේ දනියි. කුමක් තතුසේ දනී ද යත්: “මේ දුකැ” යි තතුසේ දනියි. “මේ දුක්හටගැනුමැ”යි තතුසේ දනියි. “මේ දුක් වැළැක්මැ”යි තතුසේ දනියි. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනියි. මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, එකඟ සිත් ඇති මහණ තෙමේ තතුසේ දනී.
මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි (දැන) වීර්ය්යය කටයුතු. “මේ දුක් හටගැනුමැ” යි වීර්ය්යය කටයුතු. “මේ දුක් වැළැක්මැ” යි වීර්ය්යය කටයුතු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්යය කටයුතු යි.
12. 1. 2.
පටිසල්ලාන සූත්රය
3844. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණ තෙමේ තතුසේ දනී. කුමක් තතුසේ දනී ද යත්: “මේ දුකැ” යි තතුසේ දනී. ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණ තෙමේ තතුසේ දනී. මහණෙනි, එහෙයින් එහි ලා “මේ දුකැ” යි වීර්ය්යය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්යය කටයුතු යි.
12. 1. 3.
කුලපුත්ත සූත්රය
3845. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, මතු කල යම් කිසි කුලපුත්රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නාහු ද ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, දැන් යම් කිසි කුලපුත්රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද් ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය.
කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්ය්යසත්ය ය දුඃඛසමුදයාර්ය්යසත්ය ය දුඃඛනිරෝධාර්ය්යසත්ය ය දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූහු ද ... පැවිදි වන්නාහු ද ... පැවිදි වෙද්ද, ඒ සියල්ලෝ මේ සිවු අරීසස් ම තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යී වීර්ය්යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්ය්යය කටයුතු යි.
12. 1. 4.
දුතියකුලපුත්ත සූත්රය
3846. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි කුලපුත්ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි කුලපුත්ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කෙරෙත්. කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්ය්යසත්ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්ර කෙනෙක් මැනැවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතු සේ අවබෝධ කළාහු ද ... අවබෝධ කරන්නාහු ද ... අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය්යසත්යය තතුසේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යි වීර්ය්යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යී වීර්ය්යය කටයුතු යි.
12. 1. 5.
සමණබ්රාහ්මණ සූත්රය
3847. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ චතුරාර්ය්යසත්යය තතුසේ අවබෝධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්ය්යසත්යය තතුසේ අවබෝධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ චතුරාර්ය්යසත්යය තතුසේ අවබෝධ කෙරෙත්. කවර චතුරාර්ය්යසත්ය කෙනෙක් ද යත්: දුඃඛාර්ය්යසත්ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කළාහු ද, ... අවබෝධ කරන්නාහු ද, ... අවබෝධ කෙරෙත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය්යසත්යය තතුසේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යි වීර්ය්යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්ය්යය කටයුතු යි.