10. 1. 4.
ඵල සූත්රය
3752. මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියී හික්මේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දී මෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ඵල දෙකින් එක්තරා ඵලයන් කැමති විය යුතු. දිටුදැමියෙහි ම රහත් බව හෝ උපාදාන ශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
10. 1. 5.
දුතිය ඵල සූත්රය
3753. මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය කෙසේ වඩන ලද්දී කෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දී මෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි සත් පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති විය යුතුහ.
කවර සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නොලබා නම් එකල්හි මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නො ලබා නම් ඉදින් මරණසමයෙහි රහත් බව නො ලබා නම් එකල්හි පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපහච්චපරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි මේ සත්පලයෝ මේ සත් අනුසස්හු කැමති විය යුතුහ යි.
10. 1. 6.
අරිට්ඨ සූත්රය
3754. සැවැත්නුවර:
මහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ භාග්යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි මෙය සැලකළහ. අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි. වහන්ස, ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්රහීණ වූයේ ය. මතු කාමයන්හි මාගේ කාමච්ඡන්දය පහ ව ගියේ ය. ආධ්යාත්මිකබාහිර ද්වාදශායතනයන්හි මාගේ ප්රතිඝසංඥාව ද සහමුලින් සිඳින ලද්දී ය. ඒ මම සිහි ඇති ව ම ආශ්වාස කරමි. සිහි ඇති ව ම ප්රශ්වාස කරමි. වහන්ස, මෙසේ මම ආනාපානසතිය වඩමි යි.
අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත. මෙය නැතැයි නො කියමි. අරිට්ඨ, යම්සේ ආනාපානසතිය විතරවිසින් පිරිපුන් වේ නම් එය අසවු ... අරිට්ඨ, ආනාපානසතිය කෙසේ නම් විතර විසින් පිරිපුන් වේ ද යත්: අරිට්ඨ, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. අරිට්ඨ, මෙසේ ආනාපානසතිය විතර විසින් පිරිපුන් වේ යි.
10. 1. 7.
කප්පින සූත්රය
3755. සැවැත්නුවර:
එසමයෙහි ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා ගෙන භාග්යවතුන් වගන්සේ නුදුරෙහි වැඩහුන්නාහු වෙති. භාග්යවතුන් වහන්සේ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා ගෙන නුදුරෙහි වැඩ හුන් ආයුෂ්මත් මහාකප්පින තෙරුන් දුටුසේකි. දැක භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි මේ මහණහුගේ කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ දකිවු දැ”යි. වහන්ස, අපි යම් කලෙක සඟමැද හුන්නාවූ හෝ එකලා ව විවේකී ව හුන්නා වූ හෝ ඒ ආයුෂ්මතුන් දක්නමෝ නම් එකලදු අපි ඒ ආයුෂ්මතුන්ගේ කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො දක්නමෝ යි.