1. 4. 3.
විරද්ධ සූත්‍රය
33. සැවැත්නුවර:
මහණෙනි, යම් කෙනකුන් විසින් අරිඅටඟිමඟ වරදවන ලද ද, මැනැවින් දුක් ගෙවීමට යන අරිඅටඟිමඟ ඔවුන් විසින් වරදවන ලද ය. මහණෙනි, යම් කෙනකුන් විසින් අරිඅටඟිමඟ අරඹන ලද ද, මැනෙවින් දුක් ගෙවීමට යන අරිඅටඟිමඟ ඔවුන් විසින් අරඹන ලදී. මහණෙනි, අරිඅටඟිමඟ කවරෙ යත්: හේ මෙසේ ය: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ අරිඅටඟිමඟ වරදවන ලද ද, මෙනෙවින් දුක් ගෙවීමට යන මේ අරිඅටඟිමඟ ඔවුන් විසින් වරදවන ලද ය. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ අරිඅටඟිමඟ අරඹන ලද ද, මැනවින් දුක් ගෙවීමට යන මේ අරිඅටඟිමඟ ඔවුන් විසින් අරඹන ලද්දේ යි.
1. 4. 4.
පාරඞ්ගම සූත්‍රය
34. සැවැත්නුවර:
මහණෙනි, මේ අට දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට (-සසරින් නිවනට) යෑම පිණිස පවතිත්. කවර අටෙකැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ අටදහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතරට යෑම පිණිස පවතිත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේකි:
1. යම් ජන කෙනෙක් පරතෙරට යනසුලු වෙද්ද, මිනිසුන් අතර ඔහු අල්පයහ. වැලි මේ තදන්‍ය ප්‍රජාව මෙතෙර ම (සසරෙහි ම) ධාවන කෙරෙයි.
2. යම් කෙනෙකුත් මොනවට වදහළ දහම්හි දහම් අනුව පවතින සුලු වෙද්ද, ඒ ජනයෝ සුදුස්තර වූ මාරධෙයය (සසර) හැර පරතෙරට යන්නාහ.
3-4. පණ්ඩිත තෙමේ අකුසල්දහම් දුරු කොට කුසල්දහම් වඩනේ ය. නිවන ඇරබ සසරින් කාමයන් අත්හැර පලිබෝධ නැති ව යම් විවේකයක දුකසේ ඇලිය යුතු වේ නම් එහි ඇලීම කැමති වන්නේ ය. පණ්ඩිත තෙමේ කෙලෙසුන් කෙරෙන් සිත පිරිසිදු කරන්නේ යි.
5. යම් කෙනකුන්ගේ සිත බෝධ්‍යඞ්ගයන්හි මැනවින් වඩන ලද ද, යම් කෙනෙක් උපාදාන රහිත ව නිවනෙහි ඇලුණාහු ද, ලෙව්හි බැබළීම් ඇති ඒ රහත්හු පිරිනිවියාහු යි.
1. 4. 5.
සාමඤ්ඤ සූත්‍රය
35. මහණෙනි, මහණුවම් ද මහණුවම්හි ඵල ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මහණුවම කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කවරෙ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ මහණුවමැ යි කියනු ලැබේ. මහණෙනි, මහණුවම්හි ඵල කවරෙ යත්: සෝතාපත්තිඵලය සකදාගාමිඵලය අනාගාමීඵලය අරහත්තඵල යි. මහණෙනි, මොහු මහණුවම්හි ඵල යැ යි කියනු ලැබේ යි.
1. 4. 6.
දෙවන සාමඤ්ඤ සූත්‍රය
36. මහණෙනි, ශ්‍රමණධර්‍මයත් ශ්‍රමණධර්‍මයෙහි ඵලත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්‍රමණධර්‍මය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි ඒ කවරැ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්‍රමණධර්‍මය යි කියනු ලැබේ. මහණෙනි, ශ්‍රමණධර්‍මයෙහි ඵල කවරෙ යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි මේ ශ්‍රමණධර්‍මයෙහි ඵලැ යි කියනු ලැබේ යි.
1. 4. 7.
බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
37. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වයත් ශ්‍රේෂ්ඨත්‍වයෙහි ඵලත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්‍රේෂ්ඨත්‍වය යි කියනු ලැබේ. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වයෙහි ඵල කවරෙ යත්: සෝතාපත්තිඵලය සකදාගාමිඵලය අනාගාමීඵලය අරහත්තඵල යි. මහණෙනි, මොහු ශ්‍රේෂ්ඨත්‍වයෙහි ඵල යැ යි කියනු ලැබේ යි.