1. 3. 6.
දෙවන අසප්පුරිස සූත්රය
26. සැවැත්නුවර:
මහණෙනි, අසත්පුරුෂයාත් අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයාත් තොපට දේශනා කරන්නෙමි. සත්පුරුෂයාත් සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයාත් දේශනා කෙරන්නෙමි. එය අසවු. මහණෙනි, අසත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්යාදෘෂ්ටි ඇත්තේ ... මිථ්යා සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයා යයි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්යාදෘෂ්ටි ඇත්තේ ... මිත්යසමාධි ඇත්තේ මිථ්යාඥාන ඇත්තේ මිථ්යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයා යයි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් සම්යග්දෘෂ්ටි ඇත්තේ ... සම්යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයා යි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයා කවරේ ද? යත්: මහණෙනි, මෙහි එකෙක් සම්යක්දෘෂ්ටි ඇත්තේ ... සම්යක්සමාධි ඇත්තේ සම්යග්ඥාන ඇත්තේ සම්යග්විමුක්ති අත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයා යයි කියනු ලැබේ යි.
1. 3. 7.
කුම්භ සූත්රය
27. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ කළය ආධාර (දරනු) රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වේ ද, ආධාර (දරනු) සහිත වූයේ පහසුවෙන් නො පෙරළිය හැක්කේ වේ ද, මහණෙනි, එසෙයින් ම සිත ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි, ආධාර සහිත වූයේ පහසුවෙන් නො පෙරළිය හැක්කේ වේ. මහණෙනි, සිතට ආධාරය කිමෙක් ද යත්: මේ අරි අටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මේ සිතට ආධාර ය යි කියනු ලැබේ. මහණෙනි, යම්සේ කළය ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වේ ද, ආධාර සහිත වූයේ පහසුවෙන් පෙරළිය නො හැක්කේ වේ ද, මහණෙනි, එසෙයින් ම සිතට ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි. ආධාර සහිත වූයේ පහසුවෙන් පෙරළිය නො හැක්කේ වේ යි.
1. 3. 8.
සමාධි සූත්රය
28. සැවැත්නුවර:
මහණෙනි, තොපට ප්රත්ය සහිත පිරිවර සහිත ආර්ය්ය වූ සම්යක් සමාධිය දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සප්රත්යය සපරිෂ්කාර ආර්ය්ය සම්යක් සමාධිය කවරේ ද යත්: “හේ මෙසේය: සම්මාදිට්ඨිය සම්මාසඞ්කප්පය සම්මාවාචා ය සම්මාකම්මන්තය සම්මාආජීව ය සම්මාවායාමය සම්මාසති” යි මහණෙනි, මේ සත්අඟින් සිතේ යම් එකඟබවෙක් වේ නම් එය සපරිෂ්කාර බවයි. මහණෙනි, මේ ආර්ය්ය සම්යක්සමාධිය මෙසේ ප්රත්යය සහිත ය යි දු මෙසේ පිරිවර සහිත ය යි දු කියනු ලැබේ යි.
1. 3. 9.
වේදනා සූත්රය
29. සැවැත්නුවර:
මහණෙනි, මේ වේදනා තුනෙකි. කවරතුනෙක් ද යත්: සුව වේදනා යැ දුක් වේදනා යැ නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, මේ තුන් වේදනා යි. මහණෙනි, මේ තුන් වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස අරිඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත් හේ මෙසේ ය: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, මේ තුන් වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස මේ අරිඅටඟිමඟ වැඩියයුතු යි.
1. 3. 10.
උත්තිය සූත්රය
30. සැවැත්නුවර:
එකල්හි ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි එකලා ව විවේකයෙන් හුන් මට මෙබඳු චිත්ත විතර්කයෙක් පහළවිය: භාග්යවතුන් වහන්සේ විසින් පස්කම්ගුණ කෙනෙක් වදාරන ලදහ. කවර පස්කම්ගුණ කෙනෙක් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද” යි.
උත්තිය, මැනව මැනව. උත්තිය, මේ පස්කම්ගුණ කෙනෙක් මවිසින් පවසන ලදහ. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්රියස්වභාව ඇති කාම සංහිත වූ ඇලුම් කටයුතු වූ ඇසින් දැක්කයුතු රූපයෝ ය ... කනින් ඇසියයුතු ශබ්දයෝ ය ... නැහැයෙන් දතයුතු ගන්ධයෝ ය ... දිවෙන් දතයුතු රසයෝ ය ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්රියස්වභාව ඇති කාමසංහිත වූ ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්ශයෝ ය. උත්තිය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්රියස්වභාව ඇති කාමසංහිත වූ ඇලුම් කටයුතු මේ පස්කම්ගුණයෝ මා විසින් පවසන ලදහ. උත්තිය, මේ පස්කම්ගුණයන්ගේ ප්රහානය පිණිස අරිඅටඟිමඟ වැඩියයුතු. කවර අරිඅටඟිමගෙක යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. උත්තිය, මේ පස්කම් ගුණයන්ගේ ප්රහානය පිණිස මේ අරිඅටඟිමගෙක වැඩියයුතු යි.
තෙවැනි මිච්ඡත්ත වර්ග යි.
එහි සූත්රනාමාවලිය මෙසේ ය:
මිච්ඡත්ත සූත්රය, අකුසලධම්ම සූත්රය, පටිපදා සූත්ර දෙක ය. අසප්පුරිස සූත්ර දෙක ය, කුම්භ සමාධි වේදනා උත්තිය සූත්ර සතර යැයි සූත්ර දශයෙකි.