1. 3. 10.
උත්තිය සූත්රය
30. සැවැත්නුවර:
එකල්හි ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි එකලා ව විවේකයෙන් හුන් මට මෙබඳු චිත්ත විතර්කයෙක් පහළවිය: භාග්යවතුන් වහන්සේ විසින් පස්කම්ගුණ කෙනෙක් වදාරන ලදහ. කවර පස්කම්ගුණ කෙනෙක් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද” යි.
උත්තිය, මැනව මැනව. උත්තිය, මේ පස්කම්ගුණ කෙනෙක් මවිසින් පවසන ලදහ. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්රියස්වභාව ඇති කාම සංහිත වූ ඇලුම් කටයුතු වූ ඇසින් දැක්කයුතු රූපයෝ ය ... කනින් ඇසියයුතු ශබ්දයෝ ය ... නැහැයෙන් දතයුතු ගන්ධයෝ ය ... දිවෙන් දතයුතු රසයෝ ය ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්රියස්වභාව ඇති කාමසංහිත වූ ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්ශයෝ ය. උත්තිය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්රියස්වභාව ඇති කාමසංහිත වූ ඇලුම් කටයුතු මේ පස්කම්ගුණයෝ මා විසින් පවසන ලදහ. උත්තිය, මේ පස්කම්ගුණයන්ගේ ප්රහානය පිණිස අරිඅටඟිමඟ වැඩියයුතු. කවර අරිඅටඟිමගෙක යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. උත්තිය, මේ පස්කම් ගුණයන්ගේ ප්රහානය පිණිස මේ අරිඅටඟිමගෙක වැඩියයුතු යි.
තෙවැනි මිච්ඡත්ත වර්ග යි.
එහි සූත්රනාමාවලිය මෙසේ ය:
මිච්ඡත්ත සූත්රය, අකුසලධම්ම සූත්රය, පටිපදා සූත්ර දෙක ය. අසප්පුරිස සූත්ර දෙක ය, කුම්භ සමාධි වේදනා උත්තිය සූත්ර සතර යැයි සූත්ර දශයෙකි.
4. පටිපත්ති වර්ගය
1. 4. 1.
පටිපත්ති සූත්රය
31. සැවැත්නුවර:
මහණෙනි, තොපට මිථ්යාප්රතිපත්තිය ද සම්යක්ප්රතිපත්තිය ද දෙසමි. එය අසවු. මහණෙනි, මිථ්යාප්රතිපත්ති කවර යත්: මිථ්යාදෘෂ්ටි යැ … මිථ්යාසමාධි යි. මහණෙනි මේ මිථ්යාප්රතිපදා යි කියනු ලැබෙ යි. මහණෙනි, සම්යක්ප්රතිපත්ති කවර යත්: සම්යක්දෘෂ්ටි ... සම්යක්සමාධි යි. මහණෙනි, මේ සම්යක්ප්රතිපදා යි කියනු ලැබේ.
1. 4. 2.
පටිපන්න සූත්රය
32. සැවැත්නුවර:
මහණෙනි, මිථ්යාප්රතිපත් ඇත්තහු ද සම්යක්ප්රතිපත් ඇත්තහු ද තොපට දෙසමි එය අසවු. මහණෙනි, මිථ්යාප්රතිපත් ඇත්තේ කවරෙ යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්යාදෘෂ්ටි ඇත්තේ වෙයි … මිථ්යාසමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මිථ්යාප්රතිපත් ඇත්තේ ය යි කියනු ලැබෙ යි. මහණෙනි, සම්යක්ප්රතිපත් ඇත්තේ කවරෙ යත්: මහණෙනි, මෙහි එකෙක් සම්යග්දෘෂ්ටි ඇත්තේ වෙයි ... සම්යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි මේ සම්යක්ප්රතිපත් ඇත්තේ ය යි කියනු ලැබේ.
1. 4. 3.
විරද්ධ සූත්රය
33. සැවැත්නුවර:
මහණෙනි, යම් කෙනකුන් විසින් අරිඅටඟිමඟ වරදවන ලද ද, මැනැවින් දුක් ගෙවීමට යන අරිඅටඟිමඟ ඔවුන් විසින් වරදවන ලද ය. මහණෙනි, යම් කෙනකුන් විසින් අරිඅටඟිමඟ අරඹන ලද ද, මැනෙවින් දුක් ගෙවීමට යන අරිඅටඟිමඟ ඔවුන් විසින් අරඹන ලදී. මහණෙනි, අරිඅටඟිමඟ කවරෙ යත්: හේ මෙසේ ය: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ අරිඅටඟිමඟ වරදවන ලද ද, මෙනෙවින් දුක් ගෙවීමට යන මේ අරිඅටඟිමඟ ඔවුන් විසින් වරදවන ලද ය. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ අරිඅටඟිමඟ අරඹන ලද ද, මැනවින් දුක් ගෙවීමට යන මේ අරිඅටඟිමඟ ඔවුන් විසින් අරඹන ලද්දේ යි.
1. 4. 4.
පාරඞ්ගම සූත්රය
34. සැවැත්නුවර:
මහණෙනි, මේ අට දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට (-සසරින් නිවනට) යෑම පිණිස පවතිත්. කවර අටෙකැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ අටදහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතරට යෑම පිණිස පවතිත්. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේකි: