1. 2. 7.
දෙවන පරිසුද්ධ සූත්රය
17. සැවැත්නුවර:
මහණෙනි, පරිශුද්ධ පර්ය්යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම කෙනෙක් බුදුසන්නෙන් අන්තැනෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, පරිශුද්ධ පර්ය්යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම්හු බුදුසසුනෙන් අන් තැනෙක නූපන්නාහු නූපදිති යි.
1. 2. 8.
කුක්කුටාරාම සූත්රය
18. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝත් ආයුෂ්මත් භද්ද තෙරණුවෝත් පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් භද්ද තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටුවියයුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩ හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීහ. “ඇවත් ආනන්දයෙනි, “අබ්රහ්මචරිය ය අබ්රහ්මචරිය යි කියනු ලැබේ. ඇවැත්නි අබ්රහ්මචරියය කවරේදැ?” යි.
ඇවත් භද්දයෙනි, මැනවි මැනවි. ඇවත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති. වැටහීම යහපති. පිළිවිසීම යහපති. ඇවත් භද්දයෙනි තෙපි “ඇවත් ආනන්දයෙනි, අබ්රහ්මචරිය ය අබ්රහ්මචරිය යි කියනු ලැබේ. ඇවැත්නි, අබ්රහ්මචරිය ය කවරේදැ? යි මෙසේ පුළුවුසිවු දැ?” යි ඇවැත්නි, එසේ ය යි. ඇවැත්නි, මේ අට්ඨඞ්ගිකමිච්ඡා මාර්ගය ම අබ්රහ්මචරිය යයි. එනම් මිච්ඡාදිට්ඨි, මිච්ඡාසඞ්කප්ප, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත, මිච්ඡාආජීව, මිච්ඡාවායාම, මිච්ඡාසති, මිච්ඡාසමාධි යි.
1. 2. 9.
දෙවන කුක්කුටාරාම සූත්රය
19. පැළලුප්නුවර:
එකත්පස්ව හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීහ: “ඇවත් ආනන්දයෙනි, බඹසර බඹසරැ” යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේ ද? බඹසර කෙළවර කවරේ දැ? යි.
ඇවත් භද්දයෙනි, මැනවි මැනවි. ඇවත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති, වැටහීම යහපති, පිළිවිසුම යහපති. ඇවැත්නි, භද්දයෙනි තෙපි “ඇවැත්නි ආනන්දයෙනි, බඹසර බඹසරැ යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේද? බඹසර කෙළවර කවරේදැ” යි මෙසේ පුළුවුසිවු දැ?යි. ඇවැත්නි එසේ යයි.
ඇවැත්නි මේ අරි අටගි මග ම බඹසරය. එනම්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. ඇවැත්නි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මේ බඹසර කෙළවරයි.