1. 12. 10.
චතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය
136. මහණෙනි, යම්සේ සරභූ නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 11.
පඤ්චම සමුද්දනින්න සූත්‍රය
137. මහණෙනි, යම්සේ මහී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 12.
ඡට්ඨ සමුද්දනින්න සූත්‍රය
138. මහණෙනි, යම් කිසි මහානදීහු ඇද්ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී යන නදීහු යි. යම්සේ ඒ සියල්ලෝ මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙත් ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
දොළොස්වැනි චතුත්‍ථ ගඞ්ඟා පෙය්‍යාලය යි.
එහි සූත්‍රනාමමාලාව:
පාචීනනින්න සුතුරු සයෙකි. සමුද්දනින්න සුතුරු ද සයෙකි. මේ ඡක්ක දෙක දොළොස්සුතුරෙක් වේ. එයින් වර්‍ග යයි කියනු ලැබේ යයි.
13. අප්පමාද වර්‍ගය
1. 13. 1.
තථාගත සූත්‍රය
139. සැවැත්නුවර:
මහණෙනි, පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිවුපා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද රූ ඇත්තා වූ ද රූ නැත්තා වූ ද සඤ්ඤා ඇත්තා වූ ද සඤ්ඤා නැත්තා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙද්ද තථාගත වූ අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි.
මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 13. 2.
දුතිය තථාගත සූත්‍රය
140. මහණෙනි, පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිවුපා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද රූ ඇත්තා වූ ද රූ නැත්තා වූ ද සඤ්ඤා ඇත්තා වූ ද සඤ්ඤා නැත්තා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසාන වූ මෝහවිනය පර්‍ය්‍යවසාන වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසාන වූ මෝහ විනය පර්‍ය්‍යවසාන වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.