5. 1. 1.
නිබ්බාන සූත්රය
332. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ වැදෑ දනව්වෙහි ගඞ්ගා ගං ඉවුරෙහි උක්කවේලා නුවර සමීපයෙහි වැඩ වසති. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීය: ඇවැත්නි ශාරිපුත්රයෙනි, නිවන නිවන යි කියනු ලැබේ. ඇවැත්නි, නිවන කවරේ දැ යි. ඇවැත්නි, යම් රාගය ක්ෂය කිරීමෙක් දෝසය ක්ෂය කිරීමෙක් මෝහය ක්ෂය කිරීමෙක් වේ නම් මෙය නිවනැ යි කියනු ලැබේ.
ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මග කවරේ ද? පිළිවෙත කවරේ දැ? යි. ඇවැත්නි මේ නිවන පසක් කිරීමට මේ අරි අටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධි ය යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරිපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි. ...
(ජම්බුඛාදක වර්ගයෙහි මෙන් විස්තර කටයුතු යි)
5. 1. 16.
දුක්කර සූත්රය
347. ඇවැත්නි ශාරිපුත්රයෙනි, මේ සස්නෙහි කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, මේ සස්නෙහි පැවිද්ද දුෂ්කර ය. ඇවැත්නි, පැවිද්දා විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, පැවිද්දා විසින් (පැවිද්දෙහි) ඇල්ම දුෂ්කර ය. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් ධර්මානුධර්ම ප්රතිපත්තිය දුෂ්කර ය. ඇවැත්නි, ධර්මානුධර්ම ප්රතිපන්න මහණ කොපමණ කලකින් රහත් වන්නේ දැ යි. ඇවැත්නි, නොබෝ කලකිනි යි.
සාමණ්ඩකානි සංයුත්තය නිමියේ යි.
සූත්ර නාමාවලිය - පළමු වර්ගයෙහි මෙනි.
6. මොග්ගල්ලාන සංයුත්තය
6. 1. 1.
සවිතක්ක සූත්රය
348. එක්කලෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එහි දී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට මෙබඳු චිත්ත විතර්කයෙක් පහළ විය: “පළමුවන දැහැන පළමුවන දැහැනැ” යි කියනු ලැබේ. පළමුවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ නම් මේ පළමුවන දැහැනැ යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට කාමය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, පළමුවන දැහැන නහමක් වරදව. පළමුවන දැහැනෙහි සිත තබව. පළමුවන දැහැනෙහි සිත එකඟ කරව. පළමුවන දැහැනෙහි සිත පිහිටුව යි. මහණෙනි, ඒ මම පසුකාලයෙහි කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට එළඹ පසුවෙමි. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ යයි මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.