4. 1. 16.
දුක්කර සූත්රය
331. ඇවැත්නි ශාරීපුත්රයෙනි, මෙ සස්නෙහි කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, මේ සස්නෙහි පැවිද්ද දුෂ්කර ය. ඇවැත්නි පැවිද්දා විසින් කුමක් දුෂ්කරදැ යි. ඇවැත්නි පැවිද්දා විසින් (පැවිද්දෙහි) ඇල්ම දුෂ්කරය. ඇවැත්නි (පැවිද්දෙහි) ඇලුනහු විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් ධර්මානුධර්ම ප්රතිපත්තිය දුෂ්කර ය. ඇවැත්නි ධර්මානුධර්මප්රතිපන්න මහණ කොපමණ කලකින් රහත් වන්නේ දැ යි. ඇවැත්නි නොබෝ කලකිනි යි.
ජම්බුඛාදක සංයුත්තය නිමියේ යි.
එහි සූත්රනාමාවලිය:
නිබ්බාන, අරහත්ත, ධම්මවාදි, කිමත්ථිය, අස්සාස, පරමස්සාස, වේදනා, ආසව, එසේම අවිජ්ජා, තණ්හා, ඕඝ, උපාදාන, භව, දුක්ඛ, සක්කාය, දුක්කර යයි සූත්ර සොළොසෙකි.
5. සාමණ්ඩකානි සංයුත්තය
5. 1. 1.
නිබ්බාන සූත්රය
332. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ වැදෑ දනව්වෙහි ගඞ්ගා ගං ඉවුරෙහි උක්කවේලා නුවර සමීපයෙහි වැඩ වසති. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීය: ඇවැත්නි ශාරිපුත්රයෙනි, නිවන නිවන යි කියනු ලැබේ. ඇවැත්නි, නිවන කවරේ දැ යි. ඇවැත්නි, යම් රාගය ක්ෂය කිරීමෙක් දෝසය ක්ෂය කිරීමෙක් මෝහය ක්ෂය කිරීමෙක් වේ නම් මෙය නිවනැ යි කියනු ලැබේ.
ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මග කවරේ ද? පිළිවෙත කවරේ දැ? යි. ඇවැත්නි මේ නිවන පසක් කිරීමට මේ අරි අටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධි ය යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරිපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි. ...
(ජම්බුඛාදක වර්ගයෙහි මෙන් විස්තර කටයුතු යි)
5. 1. 16.
දුක්කර සූත්රය
347. ඇවැත්නි ශාරිපුත්රයෙනි, මේ සස්නෙහි කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, මේ සස්නෙහි පැවිද්ද දුෂ්කර ය. ඇවැත්නි, පැවිද්දා විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, පැවිද්දා විසින් (පැවිද්දෙහි) ඇල්ම දුෂ්කර ය. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් ධර්මානුධර්ම ප්රතිපත්තිය දුෂ්කර ය. ඇවැත්නි, ධර්මානුධර්ම ප්රතිපන්න මහණ කොපමණ කලකින් රහත් වන්නේ දැ යි. ඇවැත්නි, නොබෝ කලකිනි යි.
සාමණ්ඩකානි සංයුත්තය නිමියේ යි.
සූත්ර නාමාවලිය - පළමු වර්ගයෙහි මෙනි.