3. 3. 9.
විසාරදවාස සූත්‍රය
314. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම විසාරද ව ගෙහි වෙසේ. කවර පසෙකින් ද යත්: පණිවායෙන් වැළකුණී වෙයි. අයිනාදනින් වැළකුණී වෙයි. කාමයෙහි වරදවා හැසුරුමෙන් වැළකුණී වෙයි. මුසවායින් වැළකුණී වෙයි. රහමෙර පානයෙන් වැළකුණී වෙයි. මහණෙනි, මේ දහම් පසෙන් යුත් මාගම විසාරද ව ගෙහි වෙසේ යි.
3. 3. 10.
වඩ්ඪී සූත්‍රය
315. මහණෙනි, වැඩුම් පසෙකින් වැඩෙන අරීසැවි තොමෝ අරීවැඩුමෙන් වැඩේ. කයෙහි හර ගන්නී ද උතුම් දෑ ගන්නී ද වෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැයෙන් වැඩේ. සීලයෙන් වැඩේ. ශ්‍රැතයෙන් වැඩේ. ත්‍යාගයෙන් වැඩේ. ප්‍රඥාවෙන් වැඩේ. මහණෙනි, මේ පස් වැඩුමෙන් වැඩෙන අරීසැවි තොමෝ අරීවැඩුමෙන් වැඩේ. කයෙහි හර ගන්නී ද උතුම් දෑ ගන්නී ද වෙයි.
මෙලෙව්හි යම් ස්ත්‍රියක් සැදැහැයෙනුත් සීලයෙනුත් ප්‍රඥාවෙනුත් ත්‍යාග-ශ්‍රැත දෙකිනුත් වැඩේ ද එබඳු සිල්වත් ඒ උවැසි තොමෝ මෙලෙව්හි ම තමාගේ හර ගනී යි.
තෙවෙනි බලවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සුද්ධ, විසාරද, පසය්හ, අභිභුය්‍ය, පස්වන අඞ්ග, නසිතබ්බ, හේතු,ඨාන, විසාරදවාස, වඩ්ඪි සූත්‍ර ය යි ඔහු දශයෙකි.
මාතුගාමසංයුත්තය නිමියේ යි.
4. ජම්බුඛාදක සංයුත්තය
4. 1. 1.
නිබ්බාන සූත්‍රය
316. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගධ දනව්වෙහි නාලගම් හි වැඩවෙසෙති. එකල්හි ජම්බුඛාදක පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ජම්බුඛාදක පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීය: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නිවන නිවනැ යි කියනු ලැබේ. ඇවැත්නි, නිවන කවරේ දැ යි.
ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක්, මෝහය දුරලීමෙක් වේ නම් මේ නිවනැ යි කියනු ලැබේ. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇද් ද, පිළිවෙතක් ඇද් දැයි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇත. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ අරිඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි මේ නිවන පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 2.
අරහත්ත සූත්‍රය
317. ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, රහත්බව, රහත්බවැ යි කියනු ලැබේ. ඇවැත්නි, රහත්බව කවරේ දැ යි. ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක් මෝහය දුරලීමෙක් වේ නම් මේ රහත් බවැ යි කියනු ලැබේ. ඇවැත්නි, මේ රහත්බව පසක්කිරීමට මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක්කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මග කවරේ ද, පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මේ අරී අටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මේ ඇති මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමාවිමට සුදුසු යි.