3. 3. 4.
අභිභුය්ය සූත්රය
309. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්රබලය, සීලබලය යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම සැමියා යටත් කොට ගෙන පවතියි.
මහණෙනි, එක්බලයකිනුදු යුතු පුරුෂ තෙමේ මාගම යටත් කොට ගෙන පවතියි. කවර එකෙකින්ද යත්: ඉසුරු බෙලෙනි. මහණෙනි, ඉසුරු බෙලෙන් මඬනා ලද මාගම රූපබලය නො ම රකී. භෝගබලය නො ම රකී. ඤාතිබලය නො ම රකී. පුත්රබලය නො ම රකී. සීල බලය නො ම රකී යි.
3. 3. 5.
අඞ්ග සූත්රය
310. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය භෝගබලය ඤාතිබලය පුත්රබලය සීලබලය යි. මහණෙනි, මාගම රූපබලයෙන් යුතු වූවා භෝගබලයෙන් නො ද යුතු වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා ඤාතිබලයෙන් නො ද යුතු වූවා වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි.
මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා පුත්රබලයෙන් නො ද යුතු වූවා වේ ද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්රබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්රබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්රබලයෙනුත් සීලබලයෙනුත් යුතු වූවා වේ ද, මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මේ පස මාගමගේ බල යි.
3. 3. 6.
නාසිතබ්බ සූත්රය
311. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය භෝගබලය ඤාතිබලය පුත්රබලය සීලබලය යි. මහණෙනි, මාගම රූපබලයෙන් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේ ද ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා නො ද සීලබලයෙන් යුතු වූවා වේ ද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් මය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්රබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේ ද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය.