1. 7. 6.
සමිද්ධි ලෝකපඤ්හ සූත්රය
68. වහන්ස, ‘ලෝක’ යැ ‘ලෝක’ යැ යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් ‘ලෝක’ හෝ ‘ලෝකප්රඥප්ති’ හෝ වන්නේ දැ’යි.
සමිද්ධිය, යම් තැනෙක චක්ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්ෂුර්විඥාන ඇද්ද, චක්ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්රඥප්ති’ හෝ ඇත ... ජිහ්වා ඇද්ද, රසයෝ ඇද්ද ... මනස ඇද්ද, ධර්මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්රඥප්ති’ ඇත.
තවද සමිද්ධිය, යම් තැනෙක චක්ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්ෂුර්විඥාන නැද්ද, චක්ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්රඥප්ති’ නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද ... මනස නැද්ද, ධර්මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ලෝක හෝ ලෝකප්රඥප්ති හෝ නැතැ’යි.
1. 7. 7.
උපසේන සූත්රය
69. එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් උපසේන තෙරණුවෝත් රජගහ නුවරැ සීත වෙනෙහි සප්පසොණ්ඩික පර්වතගුහාවෙහි වැඩ විසූහ. එකල්හි ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කයෙහි ආශීර්විෂයෙක් වැටුණේ වෙයි.
එකල්හි ආයුෂ්මත් උපසේන තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ: ඇවැත්නි, “එව මේ කය බොල්මිටක් මෙන් මෙහි ම විසිරීමට පෙර මාගේ මේ කය ඇඳකට නඟා බැහැර කරව”යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් උපසේන තෙරුන්ට මෙය වදාළහ: ආයුෂ්මත් උපසේනයන්ගේ කයෙහි වෙනස්බවක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමක් හෝ අපි නොම දකුම්හ. එහෙත් ආයුෂ්මත් උපසේන මෙසේ කියයි. “ඇවැත්නි, එව මේ කය බොල්මිටක් මෙන් මෙහි ම විසිරීමට පෙර මාගේ මේ කය ඇඳකට නඟා බැහැර කරව”යි.
ඇවැත්නි සාරිපුත්රයෙනි, යමකුට “ඇස මම යැ කියා හෝ ඇස මාගේ යැ කියා හෝ කන මම යැ කියා හෝ කන මාගේ ය කියා හෝ නැහැය මම යැ කියා හෝ නැහැය මාගේ යැ කියා හෝ දිව මම යැ කියා හෝ දිව මාගේ යැ කියා හෝ කය මම යැ කියා හෝ කය මාගේ යැ කියා හෝ සිත මම යැ කියා හෝ සිත මාගේ යැ කියා හෝ ඒකාන්තයෙන්යෙන් මෙබඳු සිතෙක් වන්නේ ද, ඇවැත්නි, ශාරීපුත්රයෙනි, ඔහුගේ කයෙහි වෙනස්බවෙක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමෙක් හෝ ඒකාන්තයෙන් වන්නේ ය. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, මට වූකලි “ඇස මම යැ කියා හෝ ඇස මාගේ යැ කියා හෝ කන මම යැ කියා හෝ කන මාගේ යැ කියා හෝ නැහැය මම යැ කියා හෝ නැහැය මාගේ යැ කියා හෝ දිව මම යැ කියා හෝ දිව මාගේ යැ කියා හෝ කය මම යැ කියා හෝ කය මාගේ යැ කියා හෝ සිත මම යැ කියා හෝ සිත මාගේ යැ” කියා හෝ බෙමඳු සිතෙක් නො වේ. ඇවැත්නි ශාරිපුත්රයෙනි, කිම? ඒ මාගේ කයෙහි වෙනස්බවෙක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමෙක් හෝ වන්නේ ද? (නො වන්නේ ම ය.)