1. 6. 10.
දුතියසබ්බුපාදානපරියාදාන සූත්රය
62. සැවැත්නුවර–
මහණෙනි, සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය කවරේ ද යත්:
මහණෙනි, ඒ කිමැයි හඟිහු ද? ඇස නිත්ය ද නොහොත් අනිත්ය දැ? යි. වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් වෙයි. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ ය, තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම ය” යි. දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.
රූප නිත්ය හෝ අනිත්ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්ය ය. චක්ඛුවිඤ්ඤාණය ... චක්ඛුසම්ඵස්සය … චක්ඛුසම්ඵස්සය නිසා යම් වේදනායෙක් උපදී නම් එ ද … සෝතය … සද්දය … සෝතවිඤ්ඤාණය … සෝතසම්ඵස්සය … සෝතසම්ඵස්සය නිසා යම් වේදනාවක් උපදී නම් එ ද .... ඝානය … ගන්ධය ... ඝාණවිඤ්ඤාණය ... ඝානසම්ඵස්සය … ඝානසම්ඵස්සය නිසා යම් වේදනාවෙක් උපදී නම් එ ද ... කායය ... ඵොට්ඨබ්බය … කායවිඤ්ඤාණය … කායසම්ඵස්සය … කායසම්ඵස්සය නිසා යම් වේදනායෙක් උපදී නම් එ ද ... චිත්තය ... ධම්මය ... මනෝවිඤ්ඤාණය ... මනෝසම්ඵස්සය … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද නිත්ය හෝ අනිත්ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය තෙල මාගේ ය, තෙල මම වෙමි. තෙල මාගේ ආත්මය යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ චක්ඛුයෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි. මිදුණුකල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූ ය. බඹසැර වැස නිමවන ලද සිවුමග කටයුතු කරන ලද, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය යි.
සවැනි අවිජ්ජා වර්ගය යි.
එහි සූත්රනාමාවලිය:
අවිජ්ජා සූත්රය සඤ්ඤෝජනසූත්ර දෙක ය, අනෙක් ආස්රව සූත්ර දෙක ය, අනුසය නමින් කියන ලද සූත්රදෙක ය, පරිඤ්ඤා සූත්රය, පරියාදාන සූත්රදෙකය යි ඔහු දශයෙකි.
7. මිගජාල වර්ගය
1. 7. 1.
මිගජාල සූත්රය
63. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ.
වහන්ස, “ඒකවිහාරී ඒකවිහාරී” (එකලා ව වසනසුලු) යයි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඒකවිහාරී වේ ද? කෙතෙකින් සදුතියවිහාරීත් (දෙවැන්නකු සමඟ වසනසුලුත්) වේ දැ? යි. මිගජාල, ඇසින් දතයුතු ඉටු අරමුණු වූ සිත්කලු වූ මනවඩන්නා වූ ප්රිය ස්වභාව ඇති (ක්ලේශ) කාමයෙන් යුක්ත වූ රැඳිය යුතු වූ රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණවනා ද, (එහි) ගැලී සිටී ද, එය පතන ගුණවනන (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් බැඳුණු මහණ තෙමේ සදුතියවිහාරී යයි කියනු ලැබේ. මිගජාල ඉටු අරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රැඳියයුතු දිවින් දතයුතු රස ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණවනා ද, (එහි) ගැලී සිටී ද, එය පතන ගුණවනන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි, දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැඳුමෙන් බැඳුණු මහණ තෙමේ සදුතියවිහාරි යයි කියනු ලැබේ ...
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවන ප්රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණවනන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් බැඳුණු මහණ සදුතියවිහාරී ය යි කියනු ලැබේ.
මිගජාල, මෙසේ වසනසුලු වූ ද මහණ තෙමේ ශබ්ද රහිත වූ ඝෝෂ රහිත වූ ජනහසරින් උපදනා පවන් රහිත වූ මිනිසුන්ගේ රහස් ක්රියාවන්ට සුදුසු වූ එකලා ව විසුමට සුදුසු වූ වනසෙනසුන් ද වනප්රස්ථ (=මනුෂ්යෝපචාරයෙන් ඈත) සෙනසුන් ද ප්රාන්ත (=මනුෂ්යවාසයෙන් ඉතා ඈත) සෙනසුන් ද සෙවුනේ නමුදු සදුතිය විහාරී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: තෘෂ්ණාව ඔහුගේ දෙවැන්නා ය. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්රහීණ නොවූවා ය. එහෙයින් සදූතිය විහාරී යයි කියනු ලැබේ.