1. 11. 6.
සංයෝජන සූත්‍රය
109. මහණෙනි, සංයෝජනයන්ට හිත වූ දහම් ද, සංයෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සංයෝජනයන්ට හිත වූ දහම් කවරේ ද සංයෝජන කවරේ ද යත්:
මහණෙනි, ඇස සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. කන ... නැහැය ... දිව සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. කය ... සිත සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. මහණෙනි, මොහු සංයෝජනයන්ට හිත දහම්හු ය යි ද මෙය සංයෝජන යි ද කියනු ලැබෙත්.
1. 11. 7.
උපාදාන සූත්‍රය
110. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම් ද, උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම් කවරේ ද උපාදාන කවරේ ද යත්:
මහණෙනි, ඇස උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. කන ... නැහැය ... දිව උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. කය ... සිත උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු ය යි ද මෙය උපාදාන යි ද කියනු ලැබෙති යි.
1. 11. 8.
පරිජානන සූත්‍රය
111. මහණෙනි, ඇස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් නැසීමට නුසුදුසු (නොසමත්) වේ. කන ... නැහැය ... දිව ... කය ... සිත වෙසෙසින් නොදන්නේ පිරිසිඳ නොදන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ගෙවීමට නුසුදුසු වේ. මහණෙනි, ඇස වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ. කන ... නැහැය ... දිව ... කය ... සිත වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ යි.
1. 11. 9.
දුතිය පරිජානන සූත්‍රය
112. මහණෙනි, රූපයන් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ නො දුරු කරන්නේ නො පහ කරන්නේ දුක් නැසීමට නුසුදුසු වේ. සද ... ගඳ ... රස ... පහස් ... දහම් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ නො දුරු කරන්නේ නො පහ කරන්නේ දුක් ගෙවීමට නුසුදුසු (නො සමත්) වේ.
මහණෙනි, රූපයන් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ගෙවීමට සුදුසු (සමත්) වේ. සද ... ගඳ ... රස ... පහස් ... දහම් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ යි.
1. 11. 10.
උපස්සුති සූත්‍රය
113. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගඩොළු පහයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රහසිගත ව විවේකී ව මේ දහම්නය වදාළ සේක:
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැනීම වේ.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා ... මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැනීම වේ.
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනා ව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.