9. 1. 42.
ගන්‍ධදායක ඕපපාතික සූත්‍රය
433. ... ගඳ දෙයි ...
9. 1. 43.
විලේපනදායක ඕපපාතික සූත්‍රය
434. ... විලෙවුන් දෙයි ...
9. 1. 44.
සෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
435. ... සෙනසුන් දෙයි. ...
9. 1. 45.
අවස්ථදායක ඕපපාතික සූත්‍රය
436. ... වෙසෙන තැන් දෙයි. ...
9. 1. 46.
පදීපෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
437. ... පහන් උපකරණ දෙයි. හෙ කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි. (මෙසේ පිඬු කිරීමෙන් සසාළිස් සූත්‍ර කෙනෙක් වෙත්.)
පළමුවැනි සුපර්‍ණවර්‍ග යි.
එහි සූත්‍රනාම මාලාව :
සුද්ධික සූත්‍රය ද, හරන්ති සූත්‍රය ද, ද්වයකාරී සූත්‍ර සතර ද දානුපකාර සූත්‍ර දසක සතර දැ යි සුපණ්ණ වර්‍ගයෙහි සූත්‍ර සසාළිසෙකි.
සුපණ්ණ සංයුත්තය නිමියේ යි.
10. ගන්‍ධබ්බ සංයුත්තය
1. ගන්‍ධබ්බ වර්‍ගය
10. 1. 1.
සුද්ධික සූත්‍රය
438. සැවැත්නුවර:
මහණෙනි, තොපට ගන්‍ධබ්බකායික (ගඳට අරක් ගත්) දෙවියන් දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, ගන්‍ධබ්බකායික දෙවියෝ කවරහු ද යත්: මහණෙනි මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, හරගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ඵලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, සිවිගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පොතුගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පත්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, මල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, රසගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ගඳ ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ. මහණෙනි, මොහු ගන්‍ධබ්බකායික දෙවියෝ ය යි කියනු ලැබෙත්.
10. 1. 2.
සුචරිත සූත්‍රය
439. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. ඔහු විසින් “ගන්‍ධබ්බකායික දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි, හේ කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.