7. 1. 5.
ආකාසානඤ්චායතන සූත්රය
336. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දුටහ ... ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ... “වෙසෙසින් පහන්හ … ඇවැත්නි, මෙහි මම රූපසංඥාවන් සර්වප්රකාරයෙන් ඉක්මවීමෙන් ප්රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්ම සංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය” යි ආකාසානඤ්චායතනයට එළැඹැ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ යි.
7. 1. 6.
විඤ්ඤාණඤ්චායතන සූත්රය
337. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දුටහ. ... ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ... වෙසෙසින් පහන්හ … ඇවැත්නි, මෙහි මම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ” යි.
7. 1. 7.
ආකිඤ්චඤ්ඤායතන සූත්රය
338. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ... ඇවැත්නි, මෙහි මම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹැ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ යි.
7. 1. 8.
නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්රය
339. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ...
ඇවැත්නි, මෙහි මම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට එළැඹ වෙසෙමි. ... නැගී සිටියෙමි යි හෝ යි.
7. 1. 9.
නිරෝධ සමාපත්ති සූත්රය
340. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹියහ. අන්ධවනයට වැදගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහරණයට හුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟී සිටියාහු ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම වෙත එළඹියහ.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දීම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, මුඹවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්ණය පිරිසිදු ය, පැහැපත් ය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
ඇවැත්නි, මෙහි මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය සර්වප්රකාරයෙන් ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසෙමි. ඇවැත්නි, ඒ මට “මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදිමි යි හෝ, මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්මි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයෙන් නැඟී සිටියෙමි යි හෝ මෙ බඳු සිතෙක් නොවේ”.
‘එ එසේ මැ’යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්ඝ රාත්රියෙහි අභිඞ්කාරමමිඞ්කාරමානනුසයයෝ මොනවට නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිමි යි හෝ මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්මි යි හෝ, මම සඤ්ඤාවේදයිත නිරෝධයෙන් නැඟී සිටියෙමි යි හෝ මෙ බඳු සිතෙක් නො වේ.
7. 1. 10.
සූචිමුඛී සූත්රය
341. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස පිවිසියහ. රජගහනුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිර ඒ පිණ්ඩපාතය එක්තරා බිත්තිමුලක් ඇසුරු කොට වළදිති. එකල්හි සූචිමුඛී නම් වූ පරිව්රාජිකාව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කිවූ ය: “මහණ, කිමෙක් ද? යටිමුව ව වළඳහි දැ”යි.