4. 1. 10.
ඛන්ධ සූත්රය
311. සැවැත්නුවර:
මහණෙනි, රූපය අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු ය.
වේදනාව අනිස යැ, වෙනස්වන සුලු යැ, අන්පරිදි වනසුලු යැ. සංඥාව අනිස යැ, වෙනස්වන සුලු යැ, අන්පරිදි වනසුලුයැ. සංස්කාර අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ, විඥානය අනිස යැ, වෙනස් වනසුලු යැ, අන් පරිදි වනසුලුයි.
මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ හදහා ද, (හැදැහීමෙන්) විමෝක්ෂය පිළිලබා ද, මේ පුද්ගල සද්ධානුසාරී යැ, ආර්ය්යමාර්ගයට පිවිසියේ යැ, සත්පුරුෂභූමියට බටුයේ යැ, පෘථග්ජන භූමිය ඉක්මවාලී යැ, යම් කර්මයක් කොට නිරයට වේවයි තිරිසන් යෝනියට වේවයි ප්රේතවිෂයට වේවයි (උපත් විසින්) එළැඹේ නම් ඒ කර්ම කරන්නට අභව්ය යැ, යම්තාක් සෝතාපත්තිඵලය පසක් නො කෙරේ ද ඒ තාක් කලුරිය කරන්නට ද අභව්ය යි කියනු ලැබේ.
මහණෙනි, යමකුහට මේ දහම්හු විවසුන් නුවණින් පමණ විසින් ධ්යානක්ෂම වෙත් ද, මේ පුඟුල් ධම්මානුසාරී යැ, අරීමඟට පිවිසියේ යැ, සපුරිස් බිමට බටුයේ යැ, පුහුදුන් බිම ඉක්මවාලී යැ, යම් කර්මයක් කොට නිරෑහි වේවයි තිරිසන්යොන්හි වේවයි පේවිසාහි වේවයි (උපත්විසින්) එළැඹෙනුයේ නම්, ඒ කර්ම කරන්නට නො නිසි යැ, සෝතාපත්තිඵලය පසක් කරන තාක් කලුරිය කරන්නට ද නො නිසි මැ යි.
මහණෙනි, යමෙක් මේ දහමුන් මෙසේ දනියි ද, මෙසේ දකියි ද, මේ පුද්ගල සෝතාපන්න යැ, සතර අපායෙහි නො හෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පාරායන කොට ඇත්තේ යයි කියනු ලැබේ.
පළමුවැනි චක්ඛු වර්ග යි.
එහි උද්දානය:
චක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, තණ්හා, ධාතු, ඛන්ධ යි සූත්ර දශයෙකි.
ඔක්කන්ති සංයුත්තය නිමියේ යි.
5. උප්පාද සංයුත්තය
1. උප්පාද වර්ගය
5. 1. 1.
චක්ඛු සූත්රය
312. සැවැත්නුවර:
මහණෙනි, ඇස පිළිබඳ යම් ඉපැදීමෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුක්හි ඉපැද්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ. ජරාමරණයෙහි පහළවීම යි. කන පිළිබඳ යම් … නැහැය පිළිබඳ යම් ... දිව පිළිබඳ යම් … කය පිළිබඳ යම් … සිත පිළිබඳ යම් ඉපැද්මෙක් පැවැත්මෙක් බිහි වීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැද්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ. ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, ඇස පිළිබඳ යම් නිරෝධයෙක් ව්යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්යුපශම යැ, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. කන පිළිබඳ යම් නිරෝධයෙක් … නැහැය පිළිබඳ යම් යම් නිරෝධයෙක් ... දිව පිළිබඳ යම් නිරෝධයෙක් … කය පිළිබඳ යම් නිරෝධයෙක් … සිත පිළිබඳ යම් නිරෝධයෙක් ව්යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්යුපශම යැ, ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 2.
රූප සූත්රය
313. සැවැත්නුවර:
මහණෙනි, රූපයන්ගේ යම් ඉපැද්මෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ, ජරාමරණයෙහි පහළවීම යි. ශබ්ද යන්ගේ යම් … ගන්ධයන්ගේ යම් ... රසයන්ගේ යම් … ස්ප්රෂ්ටව්යයන්ගේ යම් … ධර්මයන්ගේ යම් ඉපැත්මෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම යැ, රෝගයන්ගේ පැවැත්ම යැ, ජරාමණයෙහි පහළවීම යි.
මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයෙක් ව්යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්යුපශම යැ. ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
ශබ්දයන්ගේ යම් … ගන්ධයන්ගේ යම් ... රසයන්ගේ යම් … ස්ප්රෂ්ටව්යයන්ගේ යම් … ධර්මයන්ගේ යම් නිරෝධයෙක් ව්යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ. රෝගයන්ගේ ව්යුපශම යැ. ජරා මරණයෙහි අස්තඞ්ගමය යි.