3. 1. 2.
එතං මම සූත්‍රය
207. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “මේ මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්මය“යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “තෙල මාගේ යැ. තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙ බඳු දෘෂ්ටියක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද,රූපය නිත්‍ය හෝ වේ දැ? අනිත්‍ය හෝ වේ දැ? යි.
වහන්ස අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ? යි.
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙනසුලු නම් එය නො ඇසුරු කොට තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස තෙල නො වේ මැ යි,
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මේ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක මේ (දිට්ඨාදි) සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. දුක්ඛ සමුදයෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛ නිරෝධයෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක සෝතාපන්න යැ, අපායෙහි නො වැටෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ යි.
3. 1. 3.
සො අත්තා සූත්‍රය
208. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වේ ද: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවියෙමි යි?