3. 1. 1.
වාත සූත්‍රය
206. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද: “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු උදා නො වෙති නො ද බැසයෙති (මෙ හැම) ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු” දැයි?
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස “වාතයෝ නො හමති, නදීහු නො ගලාබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස “වාතයෝ නො හමති, නදීහු ගලා නොබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳ හිරුහු නො ද උදාවෙති නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීලයක් සෙයින් සිටියාහු” යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද: රූපය නිත්‍ය හෝ වෙයි ද, අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ ද?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට “වාතයෝ නො හමති, නදීහු නො ගලාබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදා වෙති, නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීලයක් සෙයින් සිටියාහු “යි මේ බඳු දෘෂ්ටියක් උපදී ද?
වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව… සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වෙ යි ද, අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට “වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති, නො ද පහ ව යෙත්, ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු “යි මේ බඳු දෘෂ්ටියෙක් උපදී ද?
වහන්ස, තෙල නො වේ මැ යි.
මේ යමෙකුත් දක්නා ලද්දේ, අසන ලද්දේ, සුඹුනා රසවිඳිනා පහස්නා ලද්දේ, දන්නා ලද්දේ, පැමිණෙන ලද්දේ, සොයන ලද්දේ, සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති, නො ද පහවයෙති, ඉන්‍ද්‍රකීලයන් මෙන් නො සැලී සිටියාහු යි මේ බඳු දෘෂ්ටියක් උපදී ද?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි,යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකහට මේ (දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්තපරියේසිත අනුවිචරිත යන) සතැන්හි සැක ප්‍රහීණ වූයේ වේ නම් දුක්ඛයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි. දුක්ඛසමුදයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධගාමිනී පටිපදායෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න ය යි කියනු ලැබේ යි.
3. 1. 2.
එතං මම සූත්‍රය
207. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “මේ මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්මය“යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “තෙල මාගේ යැ. තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙ බඳු දෘෂ්ටියක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.