2. 4. 12.
නිරෝධධම්ම සූත්‍රය
205. සැවැත්නුවර:
රාධය, යමෙක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.
රාධය, කිමෙක් නිරුද්ධ වනසුලු ද යත්: රාධය, රූපය නිරුද්ධ වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිරුද්ධ වනසුලු ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි. රාධය යමක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ රාගය පහකට යුතු යැ ඡන්‍දරාගය පහකට යුතු ය යි.
සිව්වැනි උපනිසින්න වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
මාර සූත්‍රය ද, මාරධම්ම සූත්‍රය ද, අනිච්ච, අනිච්චධම්ම ය යි අනෙක් සූත්‍ර දෙකෙක් ද, දුක්ඛ, දුක්ඛධම්ම ය යි සූත්‍ර දෙකෙක් ද වදාරන ලදහ. එසේ ම අනත්ත, අනත්තධම්මය යි සූත්‍ර දෙකෙකි. ඛයධම්ම, වයධම්ම, සමුදය ධම්ම සූත්‍රයෝ ද වෙත්. (මෙසේ) නිරෝධධම්ම සූත්‍රයෙන් සූත්‍ර දොළසක් වේ.
(මෙසේ මාර සූත්‍ර විස්තර කටයුතු යි. මෙසේ නිරෝධධම්ම සූත්‍රයෙන් සතිස් සූත්‍ර කෙනෙක් විස්තර කටයුත්තාහ. මෙසේ රාධ සංයුත්තය පිඬු කළ කල්හි සුඅනු සූත්‍ර කෙනෙක් වෙත්.)
රාධසංයුත්තය නිමි.
3. දිට්ඨි සංයුත්තය
1. සෝතාපත්ති වර්‍ගය
3. 1. 1.
වාත සූත්‍රය
206. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද: “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු උදා නො වෙති නො ද බැසයෙති (මෙ හැම) ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු” දැයි?
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස “වාතයෝ නො හමති, නදීහු නො ගලාබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස “වාතයෝ නො හමති, නදීහු ගලා නොබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳ හිරුහු නො ද උදාවෙති නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීලයක් සෙයින් සිටියාහු” යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද: රූපය නිත්‍ය හෝ වෙයි ද, අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ ද?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට “වාතයෝ නො හමති, නදීහු නො ගලාබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදා වෙති, නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීලයක් සෙයින් සිටියාහු “යි මේ බඳු දෘෂ්ටියක් උපදී ද?
වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව… සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වෙ යි ද, අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.