2. රාධ සංයුත්තය
1. පඨම මාර වර්‍ගය
2. 1. 1.
මාර සූත්‍රය
160. සැවැත්නුවර:
එ කල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “මාර මාර” යි කියනු ලැබෙයි, වහන්ස කොපමණෙකින් මාර වේ දැ”යි?.
රාධය, රූපය ඇති කල්හි මරු (මරණය) හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි රූපය මරු යයි දකිවු, මැරිය යුත්තා යයි දකිවු, මැරෙන්නා යයි දකිවු, රෝග ය යි දකිවු, ගඩ යයි දකිවු, හුල යයි දකිවු, ව්‍යසන යයි දකිවු, ව්‍යසනයට පැමිණියෙකැ යි දකිවු. යම් කෙනෙක් එය (රූපය) මෙ සේ දකිත් ද ඔහු මැනවින් දකිති. වේදනාව ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි වේදනාව මරණ යයි දකිවු, මැරිය යුත්තා යයි දකිවු, මැරෙන්නා යයි දකිවු ... යම් කෙනෙක් එ වේදනාව මෙසේ දකිත් ද ඔහු මැනවින් දකිති. සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි සංස්කාර මරු යයි දකිවු, මැරිය යුත්තා ය යි දකිවු, මැරෙන්නා ය යි දකිවු ... යම් කෙනෙක් මෙසේ දකිත් ද ඔහු මැනවින් දකිති. විඥානය ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි විඥානය මරු යයි දකිවු, මැරිය යුත්තා යි දකිවු, මැරෙන්නා යි දකිවු, රෝග යයි දකිවු, ගඩ යයි දකිවු, හුල යයි දකිවු, ව්‍යසනයයි දකිවු, ව්‍යසනයට පැමිණියෙකැයි දකිවු. යම් කෙනෙක් එ විඥානය මේ සේ දකිත් ද, ඔහු මොනොවට දකිත් යි.
වහන්ස, මොනොවට දැක්ම කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
රාධය, මොනොවට දැක්ම නිර්වේදය අර්‍ත්‍ථකොට ඇත.
වහන්ස, නිර්වේදය කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
රාධය, නිර්වේදය විරාගය අර්‍ත්‍ථකොට ඇත.
වහන්ස, විරාගය කුමක් අර්‍ත්‍ථකොට ඇත ද?
රාධය, විරාගය විමුක්තිය අර්‍ත්‍ථකොට ඇත.
වහන්ස, විමුක්තිය කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
රාධය, විමුක්තිය නිවන අර්‍ත්‍ථකොට ඇත.
වහන්ස, නිවන කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
රාධය, ප්‍රශ්නය ඉක්මැවූයෙහි, ප්‍රශ්නයේ කෙළවර ගන්නට අසමත් වූයෙහි. නිවනට බැසගත් නිවන පිහිට කොට ඇති නිවන අවසන් කොට ඇති මඟබඹසර වෙසේ යි.
2. 1. 2.
සත්ත සූත්‍රය
161. සැවැත්නුවර:
එකත්පස් ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, “සත්ත සත්ත” යි කියනු ලැබෙයි. වහන්ස කොපමණකින් සත්ත’යි කියනු ලැබේ දැයි?
රාධය රූපයෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් යම් සතුටෙක් යම් ආශාවක් වේ ද එහි ඇලුණේ යැ, එහි දැඩි ව ඇලුණේ යි. එ හෙයින් “සත්ත’යි කියනු ලැබෙ යි. වේදනාවෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් ... සංඥායෙහි ... සංස්කාර යෙහි… විඥානයෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් යම් සතුටෙක් යම් ආශාවක් වේ ද එහි ඇලුණේ යැ, එහි දැඩි ව ඇලුණේ යි. එහෙයින් ‘සත්ත’යි කියනු ලැබේ.
රාධය, යම්සේ කුඩාදරුවෝ හෝ කුඩාදැරියෝ හෝ වැලිගෙවලින් කෙළිද්ද, යම්තාක් ඒ වැලිගෙවල නොපහ වූ ඇලුම් ඇත්තෝ නොපහ වූ කැමැත්ත ඇත්තෝ නොපහ වූ ප්‍රේම ඇත්තෝ නොපහ වූ පවස් ඇත්තෝ නොපහ වූ පරිදාහ ඇත්තෝ නොපහ වූ ආශා ඇත්තෝ වෙද්ද, ඒතාක් ඒ වැලිගෙවල ඇලුම් කෙරෙති. කෙලායන (ලොල්බව) කෙරෙති. (එය) ධනයක් මෙන් හඟිති. මමත්‍වය කෙරෙත්.
රාධය, යම් කලෙක කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ වැලිගෙවල පහ ව ගිය කැමැත්ත ඇත්තෝ පහවගිය ඇලුම් ඇත්තෝ පහවගිය පෙම් ඇත්තෝ පහවගිය පවස් ඇත්තෝ පහවගිය පරිදාහ ඇත්තෝ පහවගිය ආශා ඇත්තෝ වෙද්ද, එ කල්හි ඒ වැලිගෙවල් අතින් ද පයින් ද විසුරුවති, බිඳදමති, වනසති, පහවූ ක්‍රීඩා ඇති කෙරෙත්.
රාධය, එ පරිද්දෙන් ම තොප විසින් රූපය විසුරුවවු, බිඳදමවු, වනසවු, පහ වූ, ක්‍රීඩා ඇත්තක් කරවු, තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපදිවු. වේදනාව විසුරුවවු ... සංඥාව විසුරුවවු ... සංස්කාරය විසුරුවවු ... විඥානය විසුරුවවු, බිඳ දමවු, වනසවු, පහවගිය ක්‍රීඩා ඇත්තක් කරවු, තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපදිවු. රාධ, තෘෂ්ණා ක්‍ෂය නිවන යි.