2. 2. 10.
වයධම්ම සූත්‍රය
179. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, “වයධම්ම, වයධම්ම (වැනසෙන සුලු) යි කියනු ලැබෙයි, ‘වහන්ස කිමෙක් වයධම්ම වේ දැ”යි?
රාධය, රූපය වයධම්ම යැ, වේදනාව වයධම්ම යැ, සංඥාව වයධම්ම යැ, සංස්කාර වයධම්ම යැ විඥානය වයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 11.
සමුදයධම්ම සූත්‍රය
180. සැවැත්නුවර:
එකත්පස් ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ‘සමුදයධම්ම, සමුදයධම්ම (හටගන්නාසුලු)’යි කියනු ලැබෙයි, වහන්ස, කිමෙක් සමුදය ධම්ම වේ දැ යි?
රාධය, රූපය සමුදයධම්ම යැ. වේදනාව සමුදයධම්ම යැ. සංඥාව, සමුදයධම්ම යැ. සංස්කාර සමුදයධම්ම යැ. විඥානය සමුදයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 12.
නිරෝධධම්ම සූත්‍රය
181. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ‘නිරෝධධම්ම, නිරෝධධම්ම (නිරුද්ධ වනසුලු)’ යි කියනු ලැබෙයි. වහන්ස, කිමෙක් නිරෝධධම්ම වේ දැ”යි.
“රාධය, රූපය ‘නිරෝධධම්ම යැ, වේදනාව නිරෝධධම්ම යැ, සංඥාව නිරෝධධම්ම යැ, සංස්කාර නිරෝධධම්ම යැ, විඥානය නිරෝධධම්ම යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ”යි දැනගනීයි.
දුතිය මාරවර්‍ග යි
එහි සූත්‍රනාමාවලිය:
මාර සූත්‍රය ද, මාරධම්ම සූත්‍රය ද, අනික් අනිච්ච සූත්‍ර දෙකෙක් ද, දුක්ඛ සූත්‍ර දෙකෙක් ද කියන ලද යැ. එසේ ම අනත්ත සූත්‍ර ද දෙකෙකි. ඛයධම්ම වයධම්ම සමුදයධම්ම සූත්‍රයෝ ද වෙති. නිරෝධධම්ම සූත්‍රයෙන් (ඔහු) දොළසෙක් වෙත්.
3. ආයාචන වර්‍ගය
2. 3. 1.
මාර සූත්‍රය
182. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් මාර ද, එහි තොපගේ ඡන්‍දය (දුර්‍වල රාගය) දුරු කටයුතු යැ. රාගය (බලවත් රාගය) පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය මාර කවරේ ද යත්:
රාධ, රූපය මාර යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහ කටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මාර යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහ කටයුතු යැ, ඡන්‍ද රාගය පහකටයුතු යි. රාධය යමෙක් මරු ද එහි ඡන්‍දය පහකටයුතුය, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 2.
මාරධම්ම සූත්‍රය
183. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ... නිවන් පිණිස යොමුකළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද භාග්‍ය වතුන් වහන්සේ එ බඳු දහමක් මට සැකෙවින් දෙසනසේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් මරණධර්‍ම (මැරෙනසුලු) නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කවරෙක් මරණධර්‍ම වේ ද යත්: රාධය, රූපය මරණධර්‍ම යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතුයැ, ඡන්‍දරාගය පහකට යුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මරණධර්‍ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් මරණධර්‍ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි.