2. 1. 4.
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
163. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධ, පිරිසිඳ දතයුතු දහම් ද, පිරිසිඳ දැනුම ද, පිරිසිඳ දන්නා පුඟුලා ද දේශනා කරන්නෙමි. එය අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
රාධය, පිරිසිඳ දතයුතු දහම් කවරැ යත්: රාධය, රූපය පිරිසිඳ දතයුතු දහමෙකි. වේදනාව පිරිසිඳ දතයුතු දහමෙකි. සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දතයුතු දහමෙකි. රාධය මොහු පිරිසිඳ දතයුතු දහම් ය යි කියනු ලැබෙත්.
රාධය, පිරිසිඳ දැනුම කවරැ යත්: රාධය යම් රාගක්‍ෂයයෙක් යම් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද; රාධය, මේ පිරිසිඳ දැනුම ය යි කියනු ලැබේ.
රාධය, පිරිසිඳ දත් පුඟුල් කවරෙ යත්:
මෙබඳු නම් ඇති මෙබඳු ගොත් ඇති යම් මේ ආයුෂ්මත් කෙනෙක් වෙත් නම් හේ අරහත් ය යි කිය යුතු වන්නේ යි. රාධය, මේ පිරිසිඳ දත් පුඟුල්’යි කියනු ලැබේ.
2. 1. 5.
සමණ සූත්‍රය
164. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. රාධය, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම් රූපෝපාදානස්කන්‍ධය: ... විඥානෝපාදානස්කන්‍ධ යි. රාධය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වේවයි බ්‍රාහ්මණ කෙනෙක් වේවයි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණ යත් තතු සේ නො දනිද් ද, රාධය, මේ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු යයි සම්මත නො වෙති. බමුණන් කෙරෙහිත් බමුණෝ යයි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණ බැව්හි ඵලයත් බමුණු බැව්හි ඵලයත් දිටුදැමියෙහි තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට ඊට එළඹ නො ද වෙසෙති.
රාධය යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ ආස්වාදත් ආදීනවත් නිස්සරණත් තතු සේ දනිද්ද, රාධය, ඒ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු යයි සම්මතයහ. බමුණන් කෙරෙහිත් බමුණෝ යයි සම්මත යහ. ඒ ආයුෂ්මත්හු මහණකමෙහි ඵලත් බමුණුකමෙහි ඵලත් දිටුදැමියෙහි තෙමේ ම වෙසෙසින් දැන එයට එළඹ වෙසෙති යි.
2. 1. 6.
දුතිය සමණ සූත්‍රය
165. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදානස්කන්‍ධ ය:… විඥානෝපාදානස්කන්‍ධයි. රාධය, යම් කිසි මහණ කෙනෙක් වේවයි බමුණු කෙනෙක් වේවයි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද… තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළැඹ වෙසෙති”යි.
2. 1. 7.
සෝතාපන්න සූත්‍රය
166. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදාන ස්කන්‍ධය… විඥානෝපාදානස්කන්‍ධයි.
රාධය යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, රාධ, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක සිවු අපායෙහි නොවැටෙන සැහැවි ඇති ගතිනියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න ය යි කියනු ලැබේ”යි.