2. 1. 2.
සත්ත සූත්‍රය
161. සැවැත්නුවර:
එකත්පස් ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, “සත්ත සත්ත” යි කියනු ලැබෙයි. වහන්ස කොපමණකින් සත්ත’යි කියනු ලැබේ දැයි?
රාධය රූපයෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් යම් සතුටෙක් යම් ආශාවක් වේ ද එහි ඇලුණේ යැ, එහි දැඩි ව ඇලුණේ යි. එ හෙයින් “සත්ත’යි කියනු ලැබෙ යි. වේදනාවෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් ... සංඥායෙහි ... සංස්කාර යෙහි… විඥානයෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් යම් සතුටෙක් යම් ආශාවක් වේ ද එහි ඇලුණේ යැ, එහි දැඩි ව ඇලුණේ යි. එහෙයින් ‘සත්ත’යි කියනු ලැබේ.
රාධය, යම්සේ කුඩාදරුවෝ හෝ කුඩාදැරියෝ හෝ වැලිගෙවලින් කෙළිද්ද, යම්තාක් ඒ වැලිගෙවල නොපහ වූ ඇලුම් ඇත්තෝ නොපහ වූ කැමැත්ත ඇත්තෝ නොපහ වූ ප්‍රේම ඇත්තෝ නොපහ වූ පවස් ඇත්තෝ නොපහ වූ පරිදාහ ඇත්තෝ නොපහ වූ ආශා ඇත්තෝ වෙද්ද, ඒතාක් ඒ වැලිගෙවල ඇලුම් කෙරෙති. කෙලායන (ලොල්බව) කෙරෙති. (එය) ධනයක් මෙන් හඟිති. මමත්‍වය කෙරෙත්.
රාධය, යම් කලෙක කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ වැලිගෙවල පහ ව ගිය කැමැත්ත ඇත්තෝ පහවගිය ඇලුම් ඇත්තෝ පහවගිය පෙම් ඇත්තෝ පහවගිය පවස් ඇත්තෝ පහවගිය පරිදාහ ඇත්තෝ පහවගිය ආශා ඇත්තෝ වෙද්ද, එ කල්හි ඒ වැලිගෙවල් අතින් ද පයින් ද විසුරුවති, බිඳදමති, වනසති, පහවූ ක්‍රීඩා ඇති කෙරෙත්.
රාධය, එ පරිද්දෙන් ම තොප විසින් රූපය විසුරුවවු, බිඳදමවු, වනසවු, පහ වූ, ක්‍රීඩා ඇත්තක් කරවු, තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපදිවු. වේදනාව විසුරුවවු ... සංඥාව විසුරුවවු ... සංස්කාරය විසුරුවවු ... විඥානය විසුරුවවු, බිඳ දමවු, වනසවු, පහවගිය ක්‍රීඩා ඇත්තක් කරවු, තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපදිවු. රාධ, තෘෂ්ණා ක්‍ෂය නිවන යි.
2. 1. 3.
භවනෙත්ති සූත්‍රය
162. සැවැත්නුවර:
එකත්පස්ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, “භවනෙත්ති, භවනෙත්ති” යි කියනු ලැබෙයි. වහන්ස ‘භවනෙත්තිය’ නම් කවරක්ද, ‘භවනෙත්තිනිරෝධය’ කවරේ දැ යි?
රාධය, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් උපය උපාදාන කෙනෙක් සිතපිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් ද මේ ‘භවනෙත්ති’ යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරෝධයෙන් භවනෙත්තිනිරෝධය වේ. වේදනාවෙහි යම් ඡන්‍දයෙක් ... සංඥාවෙහි යම් ඡන්‍දයෙක් ... සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් ... විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් උපයඋපාදාන කෙනෙක්, සිත පිළිබඳ අධිෂ්ඨාන, අභිනිවේස, අනුසය කෙනෙක් වෙද්ද, මේ ‘භවනෙත්ති’ යි කියනු ලැබේ. ඔවුන්ගේ නිරෝධයෙන් භවනෙත්තිනිරෝධය වේ ය යි .
2. 1. 4.
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
163. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධ, පිරිසිඳ දතයුතු දහම් ද, පිරිසිඳ දැනුම ද, පිරිසිඳ දන්නා පුඟුලා ද දේශනා කරන්නෙමි. එය අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
රාධය, පිරිසිඳ දතයුතු දහම් කවරැ යත්: රාධය, රූපය පිරිසිඳ දතයුතු දහමෙකි. වේදනාව පිරිසිඳ දතයුතු දහමෙකි. සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දතයුතු දහමෙකි. රාධය මොහු පිරිසිඳ දතයුතු දහම් ය යි කියනු ලැබෙත්.
රාධය, පිරිසිඳ දැනුම කවරැ යත්: රාධය යම් රාගක්‍ෂයයෙක් යම් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද; රාධය, මේ පිරිසිඳ දැනුම ය යි කියනු ලැබේ.
රාධය, පිරිසිඳ දත් පුඟුල් කවරෙ යත්:
මෙබඳු නම් ඇති මෙබඳු ගොත් ඇති යම් මේ ආයුෂ්මත් කෙනෙක් වෙත් නම් හේ අරහත් ය යි කිය යුතු වන්නේ යි. රාධය, මේ පිරිසිඳ දත් පුඟුල්’යි කියනු ලැබේ.