11. 1. 56.
වාතවලාහක සූත්‍රය
605. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (විකෘති වශයෙන්) දැඩි සුළඟ වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
මහණ, වාතවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුනට යම් කලෙක “අපි සිය කම්සුවයෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව දැඩි සුළං වේ. මහණ යම් හෙයෙකින් එක්කලෙක දැඩි සුළඟ වේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
11. 1. 57.
වස්සවලාහක සූත්‍රය
606. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (නොකල්හි වන) වැසි වසී නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක්” දැයි.
මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
පළමුවැනි වලාහක වර්‍ග යි.
(විතර විසින් සුත්‍රාන්තයෝ සත්පනසෙක් වෙති.)
එහි සූත්‍රනාමාවලිය :
සුද්ධික සූත්‍රය ද, සුචරිත සූත්‍රය ද, අන්නදායකා දි දසක පස ද, සීතවලාහක, උණ්හවලාහක, අබ්භවලාහක, වාතවලාහක, වස්සවලාහක සූත්‍රයෝ දැ යි’ සූත්‍ර සත්පනසෙකි.
වලාහක සංයුත්තය නිමියේ යි.
12. වච්ඡගොත්ත සංයුත්තය
1. වච්ඡගොත්ත වර්‍ගය
12. 1. 1.
රූප අඤ්ඤාණ සූත්‍රය
607. සැවැත්නුවර:
එකල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වියැ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පස් ව හුන්නේ යැ. එකත්පස් වැ හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ:
භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත් ය යි හෝ, ලෝකය අන්තවත් ය යි හෝ, ලෝකය අනන්තවත් යයි හෝ, ජීවයත් එය යැ ශරීරයත් එය ය යි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැයි හෝ, සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ, සත්ත්‍වයා මරණින් මතු වෙයි ද නො ද වේ ය යි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටු කෙනෙක් ලොව උපදිත් නම් (එයට) හේතු කවරැ ප්‍රත්‍යය කවරැ” යි.
වච්ඡය, රූපයෙහි නො දැනීමෙන්, රූපසමුදයෙහි නො දැනීමෙන් රූපනිරෝධයෙහි නොදැනීමෙන්, රූපනිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් “ලෝකය ශාශ්වත ය යි හෝ, ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ “නන් වැදෑරුම් වූ මේ මිසදිටුහු මෙසේ ලොවැ උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය’යි හෝ … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
12. 1. 2.
වේදනා අඤ්ඤාණ සූත්‍රය
608. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවජිතෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “භවත් ගෞතමයන් වහන්ස “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.