11. 1. 53.
සීතවලාහක සූත්‍රය
602. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් (සිහිල් කාලයෙහි හෝ ග්‍රීෂ්ම කාලයෙහි වූ) එක් කලෙක සිහිලෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ යි.
මහණ, ශීතවලාහක නම් දෙවියෝ ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිහිල් කම්සුවෙන් කෙළනමෝ නම් මැනැව”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව සිහිල වෙයි. මහණ, යම් හෙයෙකින් එක් කලෙක සිහිලෙක් වේ නම් එයට මේ හේතුයි, මේ ප්‍රත්‍යය යි.
11. 1. 54.
උණ්හවලාහක සූත්‍රය
603. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක් කලෙක (නියමකල්හි වන උණුසුමට වෙනස්) උණුසුමෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
මහණ, උණ්හවලාහක නම් දෙවි කෙනෙක් අතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනැවැ යි මෙබඳු සිතක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව උණුසුම වේ. මහණ, යම් හෙයෙකින් එක් කලෙක උණුසුම වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය”යි.
11. 1. 55.
අබ්භවලාහක සූත්‍රය
604. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
මහණ, අබ්භවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත් පිහිටුවීම අනුව වලාකුළු වෙයි. මහණ, යම් හෙයෙකින් (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය’යි.
11. 1. 56.
වාතවලාහක සූත්‍රය
605. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (විකෘති වශයෙන්) දැඩි සුළඟ වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
මහණ, වාතවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුනට යම් කලෙක “අපි සිය කම්සුවයෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව දැඩි සුළං වේ. මහණ යම් හෙයෙකින් එක්කලෙක දැඩි සුළඟ වේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
11. 1. 57.
වස්සවලාහක සූත්‍රය
606. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (නොකල්හි වන) වැසි වසී නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක්” දැයි.
මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
පළමුවැනි වලාහක වර්‍ග යි.
(විතර විසින් සුත්‍රාන්තයෝ සත්පනසෙක් වෙති.)
එහි සූත්‍රනාමාවලිය :
සුද්ධික සූත්‍රය ද, සුචරිත සූත්‍රය ද, අන්නදායකා දි දසක පස ද, සීතවලාහක, උණ්හවලාහක, අබ්භවලාහක, වාතවලාහක, වස්සවලාහක සූත්‍රයෝ දැ යි’ සූත්‍ර සත්පනසෙකි.
වලාහක සංයුත්තය නිමියේ යි.