10. ගන්ධබ්බ සංයුත්තය
1. ගන්ධබ්බ වර්ගය
10. 1. 1.
සුද්ධික සූත්රය
438. සැවැත්නුවර:
මහණෙනි, තොපට ගන්ධබ්බකායික (ගඳට අරක් ගත්) දෙවියන් දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, ගන්ධබ්බකායික දෙවියෝ කවරහු ද යත්: මහණෙනි මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, හරගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ඵලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, සිවිගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පොතුගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පත්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, මල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, රසගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ගඳ ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ. මහණෙනි, මොහු ගන්ධබ්බකායික දෙවියෝ ය යි කියනු ලැබෙත්.
10. 1. 2.
සුචරිත සූත්රය
439. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්රත්යය දැ යි.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. ඔහු විසින් “ගන්ධබ්බකායික දෙවියෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුඛබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි, හේ කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්රත්යය යි.
10. 1. 3.
මූලගන්ධ සූත්රය
440. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්රත්යය දැ යි.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. “මුල්ගඳෙහි අරග්ගත් දෙවියෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුඛබහුලහ”යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙ මුල්ගඳ (පරිත්යාග වශයෙන්) දෙන්නේ වේ. හෙ කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්රත්යය යි.
10. 1. 4-12.
සාරගන්ධාදි සූත්ර
441-449. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු හරගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්රත්යය දැ යි.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, සිතින් සුසිරිත් කෙරෙයි. “හරගඳෙහි අරග්ගත් දෙවියෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුඛබහුලහ”යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට “මම කාබුන් මරණින් මතු හරගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි මෙ බඳු සිතෙක් වෙයි. හෙ හරගඳ දෙන්නේ වේ. ... හෙ ඵලගඳ දෙන්නේ වේ. ... හෙ සිවිගඳ දෙන්නේ වේ. ... හෙ පොතුගඳ දෙන්නේ වේ. ... හෙ පත්ගඳ දෙන්නේ වේ. ... හෙ මල්ගඳ දෙන්නේ වේ. ... හෙ පලගඳ දෙන්නේ වේ. ... හෙ රසගඳ දෙන්නේ වේ. ... හෙ ගඳගඳ දෙන්නේ වේ. හෙ කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්රත්යය යි.