1. 3. 5. 9.
දුතිය අභිනිවේස සූත්‍රය
158. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ (සංයෝජනයෝය, අභිනිවේසයෝය, විනිබන්‍ධයෝ ය, ගිලගැනුම් වශයෙන් පවත්නා ක්ලේශයෝ යන මොවුහු) උපදිද් දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ උපදිති. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට සංයෝජනඅභිනිවේසවිනිබන්‍ධ අජ්ඣොසානයෝ උපදිති.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි.
මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 10.
ආනන්‍ද සූත්‍රය
159. සැවැත්නුවර:
එ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ, එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ, එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වෙර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරණ සේක් නම් මැනවි”යි.
ආනන්‍දය, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි. වහන්ස, අනිත්‍ය ය.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ? යි. වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්මය”යි දක්නට සුදුසු දැ”යි? වහන්ස, තෙල නො වේ මැ යැ .
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි.