1. 3. 5. 10.
ආනන්ද සූත්රය
159. සැවැත්නුවර:
එ කල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියහ, එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ, එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, මම භාග්යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වෙර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කෙරෙම් නම් භාග්යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරණ සේක් නම් මැනවි”යි.
ආනන්දය, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ? යි. වහන්ස, අනිත්ය ය.
යමෙක් අනිත්ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ? යි. වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්මය”යි දක්නට සුදුසු දැ”යි? වහන්ස, තෙල නො වේ මැ යැ .
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්ය හෝ වේ ද, අනිත්ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්ය යැ.
යමෙක් අනිත්ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි.
ආනන්දය, එ හෙයින් මෙහි ලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්රණීත වූ හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් ඇත් ද, (ඒ) සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ විවසුන්නුවණින් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්රණීත වූ හෝ යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් ඇත් ද, (ඒ) සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, ...
ආනන්දය, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයෙහිදු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහිදු කලකිරෙයි, සංස්කාරයෙහිදු කලකිරෙයි, විඥානයෙහිදු කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි, ජාතිය ක්ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරණ ලදී. මේබැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනි යි.
පස්වැනි දිට්ඨි වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
අජ්ඣත්තික, එතං මම, සො අත්තා, නොච මෙ සියා, මිච්ඡාදිට්ඨි, සක්කායදිට්ඨි, අත්තානුදිට්ඨි යන සූත්ර සත යැ, අභිනිවේස සූත්ර දෙක යැ, ආනන්ද සූත්ර ය යි සූත්ර දශයෙකි.
උපරි පණ්ණාසකය නිමියේ යි.
එහි වර්ග නාමාවලිය:
අත්ත වර්ග යැ, ධම්මකථික වර්ග යැ, අවිජ්ජා වර්ග යැ, කුක්කුල වර්ග යැ, පස්වැනි වූ දිට්ඨි වර්ග යයි තුන් වන පණ්ණාසකය කියන ලද්දේ ය. එහෙයින් නිපාත යයි කියනු ලැබේ යි.
ඛන්ධකවර්ගය පිළිබඳ නිපාතයෙහි පණ්ණාසක තුන සමාප්ත යැ.
ඛන්ධසංයුත්තය නිමියේ යි.