1. 3. 5. 3.
සො අත්තා සූත්‍රය
152. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍ය කොට “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි වූ ඒ මම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැයි?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ප්‍රත්‍ය කොට “ඒ මම ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි වූ ඒ මම්, පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානය ප්‍රත්‍ය කොට “ඒ මම ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් නිත්‍ය වූයෙම්, ධ්‍රැව වූයෙම්, ශාශ්වත වූයෙම්, නො පෙරළෙන සැහැවියෙම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද?වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් නිත්‍ය වූයෙමි, ධ්‍රැව වූයෙමි, ශාශ්වත වූයෙමි, නො පෙරළෙන සැහැවියෙමි පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද? වහන්ස, තෙල නො වේ ම යැ. මෙසේ දක්නේ ... මේ සඳහා අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 4.
නො ච මෙ සියා සූත්‍රය
153. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍යය කොට “(මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නොද වන්නේ යැ, මතු නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) මතු නොවන්නේ” යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසිරි කොට රූපය ප්‍රත්‍යය කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, නො වන්නෙම් නම් (මතු පස්කඳෙක්) මට නො වන්නේ යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසිරි කොට විඥානය ප්‍රත්‍යය කොට ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, නො වන්නෙම් නම් (මතු ද පස්කඳෙක්) මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසිරි කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. නො වන්නෙම් නම් මතු පස් කඳෙක් මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය ඇසිරි කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. ඉදින් නො වන්නෙම් නම් (මතු ද පස්කඳෙක්) මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී දැ”යි?
වහන්ස, තෙල නො වේ මැ යි. මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.